Friday 27 May 2016

කෙල්ලො එහෙම කියද්දී IP ට මොනා හිතෙන්ට ඇද්ද....





හහ්.. පොල්කිච්චට විතරද බෝඩිං කතා කියන්ට තියෙන්නේ . පොල්කිච්චිත් ඉතිං බෝඩිං වල කරක් ගහලා නැතුවයැ. පොල්කිච්චගේ බෝඩිං කතාවට එහා ගිය කතාවක් කියන්ටයි මේ මං පොල්කිච්චි තතනන්නේ.

පොල්කිච්චිව ඉතිං බොහෝම තරුණ  අවධියෙම ගුරු විද්‍යාලෙට තේරුණා නොවැ. යාංතං අවුරුදු  21 යි බොලං වයස එතකොට. තරුණ  ගැටිස්සි කාලේනෙ අප්පා.

හැබැයි ඉතිං මේ වෙනකොට පොල්කිච්චි විස්ස විජ්ජාලෙත් මාස හය හතක් ගත කොරලයි තිබුණේ.

අපේ තාත්තලා යන කාලේ වගේ නොවෙයි නොවැ දැන් ගුරු විද්‍යාල.
නම හිටංම වෙනස් කොරලනේ.

දැං ඒවට කියන්නේ විද්‍යාපීඨ කියලා නොවැ.

ඔය  විද්‍යාපීඨ වලට ඉතිං දීග ගිය අයව ඇතුල් කොර ගන්නෙ නැති නිසා  තරුණ  ඈයෝම තමයි හිටියේ.

මේ දවස්වොල හැමෝගෙම කතාව නවක වදය නිසාම මේ කතාවත් නවක වදයෙන්ම පටං ගන්නං හෙනං.

ඉදුං හිටුං කෑම බීම  ඔක්කොම එක්ක ගුරු පුහුණුව  දෙන හිංදා අපිට නිතරම එළියට යන්ට ලැබුනෙ නැහැ නොවැ. කොරන කෙළි ඔක්කොම ඉතිං ගේට්ටුවට ඇතුළෙදි තමයි.

කොහොමින් කොහොම හරි විද්‍යාපීඨෙට ගිය ගමන්ම ඉතිං පොඩි පොඩි වද වලට වගේම ලොකු ලොකු වද වලටත් ලක් නොවුණාම නොවේ ඉතිං.

ඒ කතා නං පස්සෙ කියන්ට බැරුවයැ.
යමුකො ඉතිං අපේ කතාවට.

අපේ නවකයෝ අතර උන්නා ටිකක් උස මහත ඇඟපත තියෙන පොලිසියේ ඉහළ තානාංතරයක් දරණ  පෙණුම තියෙන ගජ ඉලංදාරියෙක්.
අපිත් හොරෙං හොරෙන් උන්නැහෙ දිහා නොබැලුවත් නොවේ ඉතිං .

ඇයි අප්පා අපිත් ඇස් කන් තියෙන කෙල්ලො නොවැ.

කොහොමිං කොහොම හරි අපිව අල්ලගත්තු ජ්‍යෙෂ්ඨ උන්නැහෙලා ටිකක් ඈතිං ඉන්න නවක ඉලංදාරි රැළක්  පෙන්නලා කියපි "අතන ඉන්න IP ට එන්ඩ කියපිය" කියලා.

අපි කෙල්ලො ටික එකළ මෙකල  වෙනකොට මං පොල්කිච්චි  දිහා බලලා අණ කරපි "තෝ පල" කියලා.

ඇයි හත් ඉලව්වෙ අච්චරක් කෙලිච්චියො මැද්දෙ මුන්ට මාවම පෙනුණ එකනෙ කාරිය. අපේ එකීල නං කිව්වෙ     "බොගේ මනමාල පෙනුමට තමයි බෝවම පේන්නෙ " කියලා. ඇයි දෙයියනේ බෝ පැලේ වගේ ඉන්න අහිංසක මට කියපු කතාව බලන්ටකෝ.

ඔන්න  ඉතිං  මමත්  මරන්ට යන්නැහේ අරුං මැද්දට ගිහිං අහපි "කවුද IP කියන්නේ " කියලා.

ඒ වෙලාවේ එතන උන්නු එවුන් හරියට මං දිහා බැලුවෙ ග්‍රහලෝකෙන් ආපු එකියක් දිහා බලන්නැහේ.

මමත් ඇරියෙ නැහැ . ආයෙත් කිවුවා "අර උත්තමයො IP ට එන්ට කිව්වා" කියලා.
කොහොමිං කොහොම හරි අර පොලිස් පෙනුම තියෙන ඉලංදාරියා ලැජ්ජාවෙන් ඇඹරී  ඇඹරී  ආවා කියහංකෝ මාත් එක්ක.

ඔන්න ළගට ආවට පස්සෙ ජ්‍යෙෂ්ඨ  උන්නැහෙලා  ටික නිවේදනයක් නිකුත් කරපි "මූට මීට පස්සේ IP කියහල්ලා" කියලා.

අපිත් වදය කාලෙන් පස්සෙත් දිගටෝම උන්නැහෙට කතා කොලේ IP කියලමයි.

මුලින් මුලින් ලොකු අකමැත්තක්  පෙන්නුවට පස්සේ පස්සේ මේකටත්  ගාණක් නැති උනාද කොහෙද.

වැඩෙි කියන්නේ මුංදත් වැටුණේ මගේ පංතියටමයි බොලං. ඒ විතරක් යැයි ගුරු පුහුණු වලට පිට ඉස්කෝල වලට ගිය අපේ කණ්ඩායමෙත් මුංදැ හිටියා.

අපි ඉතිං පාරෙ තොටෙිදී වගේම  ඉස්කෝලෙදිත් මුන්දැට කිව්වේ IP කියලා.

හැබැයි අපි කෙල්ලෝ එහෙම කතා කොරනකොට අනිත් කොල්ලෝ අපි දිහා නක්කලේට වගේ බැලුවා.

උං එහෙම බැලුවට අපේ මොකෝ. අපි ඌට දිගටම IP කිව්වා.

අපි කෙල්ලෝ හිතුවා මුන්දැගේ තියෙන පොලිස් පෙනුමට IP කියන නිල නාමය දීලා කියලා .

කොහොමින් කොහොම හරි නේවාසික අවුරුදු 2 ඉවර වෙලා අන්තිම දවසේ සමුගැනීමේ සාජ්ජෙකුත් තිබුණා බොලං.

ඔන්න ඔය සාජ්ජෙ මැද්දෙ අපි කෙල්ලො මැද්දට ආපු කටහැකර ඉලංදාරියෙක් "උඹලා දන්නවද
අරූට IP කියන්නෙ මොකද කියලා" අපෙං අහපි.


අපි ඉතිං දන්න විදියට කිව්වා "පොලිස් පෙනුම නිසානේ" කියලා.

මේකා බඩ අල්ලගෙන හූ කිය කිය හිනාවෙන්න ගත්ත කියහංකෝ.

ටිකකින් හිනාව නවත්තලා මෙන්න මේකා IP ගෙ කතාව කියපි.

ඔන්න අහගන්ටලකෝ මුන්දැගේ භාෂාවෙන්ම කතාව.

"රැග් එක කාලේ උඹලට වගේ නෙවෙයි බං පිරිමි හොස්ටල් එකේ එක එක විදියෙ රැග් තිබුණා .

ඔන්න එක රැග් එකක් තමයි අපි ඔක්කෝම හෙළුවෙන් පේළියට හිටවලා අපේ අරකේ දිග මනින එක.

එකෙක් මැන මැන අඟල් ගාන කියනවා. තව එකෙක් ඒක ලියා ගන්නවා.

කොහොමිං කොහොමහරි මැන්න එකා IP යා ළඟට ආවම පුදුම වෙලා බලන්ට ගත්ත‍.

අපිත් ඉතිං හොරැහිං බැලුවා බං. කුතුහලේනේ.

අම්මො උගේ එකේ දිග.

ඔන්න තප්පරේට උත්තමයෝ ටික වටකොර ගත්තෙ නැතැයි අරූව.

කට්ටියක් කැරකි කැරකි බලනවා. සමහරු ඈතට ගිහිං බලනවා. අනිත් උං දිග මනිනවා. වැඩ කෝටියයි.

අන්තිමට එක උත්තමයෙක් කිව්වා " යකෝ මූට තියෙන්නේ ඉන්ටර්නැෂනල් xxxක් නේ. ඒ නිසා මූට අපි IP කියමු " කියලා.
ඔන්න අරූට IP නම වැටුන හැටි."

කොහොම හරි මේ කතාව කියලා ඉවර වෙනකොට අර හිටපු කෙල්ලෝ ටික කොහෙන් ගියාද කියලා හොයාගන්ටත් නැහැ.

ඔන්න මං පොල්කිච්චිත් වාෂ්ප උණේ ලැජ්ජාවටම තමයි.

ඇයි බොලල්ලා ටිකක් හිතහල්ලකෝ  හැම වෙලාවෙම කෙල්ලෝ ටිකක් IP.....IP  කියද්දි අරූට මොනවා හිතෙන්ට ඇද්ද කියලා .

අපිත් එක්ක හිටපු කඩප්පුලි එකියක් නම් කිව්වෙ  "කෙල්ලෝ ඕක කියද්දි ඌට ආඩම්බර හිතෙන්ට ඇති" කියලයි.

එහෙමයි කියලා අපි ඉතිං උගෙන් අහන්ටයැයි මොකද හිතුණේ කියලා නේද අප්පා....





Saturday 21 May 2016

බින්න බැස්සනම් මක් වෙනවද අප්පා.......



පොල්කිච්චි නැගල යන කතා දෙකක්ම ලිව්ව හිංදා පොල්කිච්චත් නැගල, බැහැල යනකතාවක් කියන්ට හිතුවා. 

මේ මං ඉලංදාරි සන්දියෙ වෙච්චි අකරතැබ්බක්. ඒ දවස් වල ඉතිං මං පොර ජැංඩිපහේ ඉළංදාරියා නොවැ.
 

විස්ස විජ්ජාලෙන් එළියට ගෙහුං මුල්ම රස්සාව කොළේ ගෙලිඔය පැත්තෙ කොම්පැනියක.
 

හරියටම කියනව නං වයසට ගියත් තරුණ පෙනුම එහෙමම තියෙන, සිංහල සිනමාවේ සීනිබෝල පෙම්වතාගෙ ප්‍රතිරූපෙ කඩාබිඳ දමපු කලංගෙ ගෙදර ගාව.
 

මං නැවතුණේ ඊට ටිකක් පේරාදෙනිය පැත්තට වෙන්ට මහපාර අයිනෙම තිබුණ ගෙදරක.
 

මේ ගෙදර උන්නෙ වයසක අම්මයි, එයාගෙ ලොකුමහත් වුණ පුතයි, ලේලියි, ඉස්කෝලෙ යන වයසෙ දුවයි.
සේන අයියයි, එයාගෙ නෝනා මහත්තයයි දෙන්නම ගුරුවරු. කුකුළත් අරගෙන ගෙදරින් ගියාම ආපහු එන්නේ ඉතිං ඉර හැරෙන ජාමෙ තමයි.
 

ගෙදර ළමිස්සි ඒ වෙනකොට ඕ ලෙවල්. ඒත් අම්මට හැටත් පැනල. මං හිතාගත්ත ගොඩක් පහුවෙලා ලැබුණ දරුවෙක් වෙන්ට ඇති කියල.
 

මං නැගිටිද්දි සේන අයියලා පිටත්වෙලා. ගෙදර ගෑනු දරුවා හත වෙද්දි ඉස්කෝලෙ බස් එකට නගින්ට ඕනෙ.
ඒ හංද අටට ගෙදරින් යන්න ඕනෙ මටත් හයාමාර වෙද්දි නැගිටින්ට සිද්ධ වුණා කියහංකෝ. සිද්ධ වුණා කියන්නෙ මාව අවදි කොළා. වෙන කවුරුවත් නොවෙයි, කාමරේටම තේ එක අරං ආපු ගෑනු ළමයා.
 

ඒ සංගෑදියි වුණේ මෙන්න මෙහෙමයි.
 

මට නවතින්ටදීල දවස් කීපයක් යන්ට කලින්ම ගෑනු දරුවගේ අම්ම, මම කිව්ව විදිහට ඇන්‍ටි මගෙ ජාතකේ ඉඳං අහගත්‍ත.
 

ඒ වෙනකොට විභාගෙ ෆේල් වෙලා උනුනු මම ඒ වගක් කියන්ට ගියේ නැහැ. රස්සාවකුත් කොරන නිසා දැන් ඉතිරි වෙලා තියෙන්නෙ පරස්තාවක් කොරගන්න එක විතරයි කියල ඇන්ටි හිතනව කියල මට තේරුණේ උන්දැගෙ කතාවෙන්ම තමයි.
 

ඔන්න බොලේ මට විශේෂ සැළකිලි ලැබෙන්ට පටන්ගත්ත. කොලු කාලෙනේ. මාත් ඉතිං නොතේරෙනවා වගේ සියලු සැළකිලි බුක්ති වින්දා කියහංකො.
 

උදේ ගෑනු ළමයා අතේ කාමරේටම තේ එක. සුළුපටු වාසනාවක්ද අප්පා. දවල් කෑමට ගෙදර ඇවිත් හොඳට බෙදාගෙන කන්ට කියගත් කිව්වා නොවැ. බෝඩිංකාරයෙකුට නොලැබෙන තරමේ හොඳ කෑම වේලක් ඔන්න ලැබෙන්ට ගත්‍ත.
 

ඒ මදිවට නෑගං යද්දි තනි නොතනියටත් එක්ක මාව එක්කන් යන්ට පටාංගත්ත.  ඔන්න එතකොටයි මගෙ ගොං මොළේට තේරෙන්ට ගත්තෙ එන පොට හොඳ නැතෝ කියල.
 

ඒ මදිවට යන නෑ ගෙවල්වල කට්ටිය මට සැළකුවෙ පවුලේම කෙනෙකුට වගේ. නෑකම් කියල කතා කොරන්නත් ගත්තයි කිව්වම. සේරටම හපන් සේනයියයි, අක්කයි මට වෙනද නැති ගෞරවයකින් කතා කොරන්ටත් ගත්තෙ නැතැයි.
 

දැං ඉතිං පවුලේම කෙනෙක් වගේ තමයි. බින්න බස්සගන්න වැඩපිළිවෙළක් කිරියාත්මක වෙන බව මට නොතේරුණාම නොවෙයි. ඒත් කොලු කොමට මට හිතුණෙ එව්ව කොහෙද මාත්තෙක්ක කියලයි.
ඔන්න ඔහොම දවස් ගත වුණා කියමුකෝ....
 

ගෑනු දරුවා උදේ කාමරේට තේ එක ගෙනැවිත් දොර ළඟ ඉඳං "අයියේ...." කියල අවදි කොරන එක වෙනුවට ඇඳේ කොනක ඉඳගෙන හොල්ලල අවදිකොරන්ට පටාංගත්තා. තේ එක බීල ඉවර වෙනකල් එක එක විකාර කිය කිය ඉඳල එයාම කෝප්පෙ හෝදන්ට අරං ගියා.
 

ඉස්කෝලේ යන්ට එළියට බැහැල බස් හෝල්‍ට් එකට නොගොහිං මොකක් හරි කාරණයක් හදාගෙන මට එළියට කතා කොරල පාරෙ යන හැමෝටම අත වනන්න පටාංගත්‍ත.
රෑට ටී.වී. බලන්ට ඉඳගත්තම මං වාඩිවෙන ඇඳි පුටුවට බර දීල කෙල්ල පිටිපස්සෙන් ඉඳගන්න පටාංගත්තා කියහංකො.
 

සේනයිය රවන්ට ගත්‍තොත් බලන්ටකෝ අම්මේ.. කියල තොඳොල්වෙන්ට වුණා. ඇන්‍ටිත් 'මොකද සේන කෙල්ලට රවන්නෙ' කියල අහල පුතාට නොනිළ තරවටුවක් කොළා.
 

ඇන්ටි නිවාඩු දාට මාවත් එක්කාසු කොරාන බැරි බැරිගාතෙ ගල් පඩි නැගගෙන වත්‍ත පහළට ගෙහුං හතර මායිං පෙන්නන්ට ගත්ත. හරියට මඟුල් තුලා කතාකොරල දෑවැද්ද තීන්දු කොරනව වගේ.
 

මේ අතර දවසක් කෙල්ල ඇඟ හිරිවැටෙන කතාවක් කියපි.
 

"දැං මට කෙල්ලො විහිලු කරනව අනේ..."
 

"ඒ මොනාටද.."
 

"බස් එකට නගින කල් දෙන්න කතා කර කර ඉන්නෙ ගෑනියි, මිනිහයි වගේ කියල".
අම්මෝ මට හීන් දාඩිය දාන්ට ගත්තා ඕං.
 

" ඇයි ඒගොල්ල එහෙම කියන්නෙ.."
 

"ඇයි අනේ...කෙල්ලො හිතාන ඉන්නෙ අපි යාළුයි කියලනේ." එහෙම කිව්ව එයා හෙමීට මෙහෙම මිමිනුව.
 

"අම්ම හිතාගෙන ඉන්නෙත් එහෙම තමයි." මට කලාන්තෙ නොදැම්ම ටික විතරයි.
 

"අම්ම අපේ නෑයන්ටත් කියල. අහල පහල අයත් දන්නව"
 

කෙල්ල කියපි එයා හදාගත්‍ත ළමයෙක්. සේනයිය විතරයි පුතා. ඒත් අම්ම එයාට ගොඩක් ආදරෙයි. අම්මට වයස නිසා ඕ ලෙවල් ඉවර වුණ ගමන් මාව එකලාසයක් කොරන්ට ඕනෙ කියල කියනව කියල.
 

ඒව කොහෙද මාත්තෙක්ක කියල හිතුවට ගැලවෙන එක ලේසි වෙන්නෙ නෑ වගේ කියල මට හිතෙන්ට ගත්තා.
 

කරකියාගන්ට දෙයක් නැතිව ඉන්දැද්දි මහවැලියෙ වැඩ කොරපු යාළුවෙක් වැඩපොළට ආව, නුවර යන ගමන්.
 

මම විස්තරේ කිව්ව.
 

"උඹ දැන් ඔය බෝඩිමෙන් යන්ට ඕනෙ" කියල ඌ කිව්ව විතරක් නොවෙයි මම දවල් කෑමට යද්දි මූත් මාත් එක්කම වාහනේ ගෙදර යන්ට ආවා.
 

යාළුවෙකුත් ඇවිත් තියෙන්නේ කිව්ව ඇන්ටි ඉන්න දෙන්නටම කෑම අරින්නං කියල කුස්සියට ගියා.
 

"දැං කොහොමද බං මෙතනින් යන්නෙ" මං එකල මෙකල වුණා.
 

"උඹ කට වහං ඇඳුම් කැඩුම්, සබ්බසකලමනාවම බෑග්ගෙකට දාගනිං. අර චිංචි මානවිකාව එන්ට කලිං මාරු වෙන්ට ඕනෙ. ඇන්ටිට මං ගුලිය අඹරන්නං."
 

මම විභාගෙ පාස් වෙලා නෑ, මොකක්ද මේ කොරන පිස්සුව කියල මේක කෑම කද්දි මට බනින්ට පටන් ගත්ත.
 

"විභාගෙ ලබන සුමානෙ. මං ආවෙ පාඩං කොරල විභාගෙට ලියන්න එක්ක යන්ට. උපාධිය නැතිව ජීවිතේම අඳුරෙනෙ ඇන්ටි. විභාගෙ ඉවර වුණ ගමන් ආයෙම ගෙනැත් ඇරලන්නම්".
එහෙම කියල කෙල්ලගේ අම්මට මොනාවත් හිතාගන්ට ඉඩ නොදී මගෙ බෑග් එක අතට ගත්තු යාළුව වාහනේට නැග්ග.
 

මම ඇන්ටිට දණ ගහල වැන්ද.
 

"පුතේ...කෙල්ල ඉස්කෝලෙ ඇරිල එනකල්වත් ඉන්නෙ නැද්ද?"
 

"වෙලා නෑ ඇන්ටි. මං හදිසි ගමනක් යන ගමන්. අපි ඇවිත් යන්ට එන්නංකෝ" මට කලිං යාළුව උත්තර දුන්න.
 

"පව් බං...." මම කිව්ව.
 

"කාටද...අම්මටද...දුවටද..."
 

"දෙන්නටම...."
 

"මේ වැඩේ නොකරන්න උඹටයි පව්. ගොං හරක" යාළුව කිව්ව.
 

"මං හොඳ වෙලාවට ආවෙ. නැත්නං කෙල්ල බඩවෙලා උඹ කරගහලයි නවතින්නෙ." ඒක නං ඇත්‍ත කියල හිතෙන්ට ගත්තෙ පස්සෙ කාලෙක.
 

ඔන්න ඔහේ එහෙටම බින්න බැස්සනම් මක් වෙනවද අප්පා කියලා නොහිතෙනවත් නොවේ ඉතිං.




Wednesday 11 May 2016

තාත්ත නොවුණ නං ඔබන්නෙ වෙලේ...



මේ කියන්ට යන්නෙත් අර අපේ චන්ඩි සීයා ගැන කතාවක්ම තමයි ඕං.

මට මතක හැටියට මේ සංගෑදිය වුණේ මං පැංචි සංදියේ. අර ජම්බු ගහෙන් වැටෙන්ට ඔන්න මෙන්න කාලේ. හරියටම කියනවා නම් අර පුෂ්පකුමාර රට කොරපු කාලේ.

මේ කාලේ වෙනකොට අපේ මාමණ්ඩි ඒ කියන්නේ අම්මගේ බාලම මලයා හිටියෙ විස්ස විජ්ජාලේ. අර විස්ස විජ්ජාලේ යන එක දැලි පිහියෙන් කිරි කනවා වගේ කාරියක් වෙච්ච සංදියෙයි ඕං.

මතක හැටියට 1988 වරුසයේ තිබුණා නොවැ රටේ මහා උන්නැහේ තෝරා පත්කොර ගන්න ඡන්දයක්.

මේ වෙනකොට විස්ස විජ්ජාල දින නියොමයක් නැතිව වහලා දාලා නොවැ තිබුණේ. ඉතිං අපේ  මාමණ්ඩිත් ගෙදර.

විස්ස විජ්ජාලේ  උදවිය තියා යාන්තං දැලි රැවුල වැවෙන උනුත් කැලෑ වැදිච්ච සංදියෙ උණාට අපේ  මාමණ්ඩි  නම් කිසි බයක් හැකක් නැතිව ගෙදරටම වෙලා උන්නෙ වෙන මක්කවත් හිංදා නොවෙයි, උපංගෙයි අලියෙක් වෙච්චි අපේ සීයගෙ රැස්පොට් එකට පිංසිද්ධ වෙන්ට.

හැබැයි අපරාදේ කියන්ට බැහැ සීයා මහ අලියෙක්  උණාට දූ දරුවෝ ටික ඔක්කොම හිටියෙ අනිත් පැත්තට. තවෙකක් තියා අපේ ආච්චිත් හොරෙන් හොරෙන් ගිහින් අතට ඡන්දෙ දීලා ආවා කියනවා නොවැ.

කොහොමින් කොහොම හරි ඡන්දෙ කිට්ටු වෙද්දි වැඩිම උණුහුමක් තිබුණේ  අපේ ආච්චිලයි දිහා.

මෙතනදි හැමෝගෙම පොදු සතුරා වෙලා උන්නෙ අපේ සීයා. උන්දැගේ ඡන්ද අයිතියට බලපෑම් කිරීමේ මහා කුමන්ත්‍රණය  මේ වෙනකොට දියත් වෙලයි තිබුණේ .

ඔන්න ඉතිං ඡන්දෙ කිට්ටු කොරලා පවුලේ කෘත්යාධිකාරී මණ්ඩලය රැස්වුණා කියහල්ලකෝ ඉතා රහසිගත ලෙස අපේ ගෙදර. මාව තමයි ඔත්තු බැලීමේ යොදවලා තිබුණේ . මං ඒවට ඉතිං රුසියා නොවැ.

ඔන්න  දැන් එක එක්කෙනා එක එක යෝජනා කොරනවා. කෙලින්ම සීයට කතා කොරලා ඡන්දෙ දාන එක තහනම් කොරමු කීවේ අපේ අම්මා. හැබැයි ඉතිං ඒ යෝජනාව ලත් තැනම ලොප් උණා. මොකද සීයට තහනම් නියෝග නිකුත් කොරන්ට සමත් කෙනෙක් අපේ පවුලේ ඒ වෙනකොටත් ඉපදිලා නොවුන්න නිසා.

ඊළඟ  යෝජනාව උනේ ඡන්දෙ දාන්න යාම  කඩාකප්පල් කිරීම. ඒක කොරන විදිය ඔක්කොටම කලින් පැනලා යෝජනා කොළේ දොරකඩ ඔත්තු බලමින් උන්න මං තුමිය. යෝජනාව බයිසිකලේ හුලං ඇරීම. ඒත් ඒකත් නිෂ්ප්‍රභ  වුණේ සීයා පයිං හරි ඔය ගමන යන බව කස්ටිය හොදාකාරවම දන්න නිසයි.

ඔන්න අන්තිමට හැමෝගෙම ඒකමතික තීරණය  වුණේ සාවධානව කරුණු  පැහැදිලි කොරලා දීලා සීයව තමංගේ පැත්තට නම්ම ගන්න එක.

හැබැයි ඉතිං මේ යෝජනාව කොරන්ට ගොහිං උන්දැගෙන් හොඳ  දෙක තුනක් අහගන්ට නම් කවුරුත් කැමති වුණේ  නැහැ.

කොහොමින් කොහොම හරි අන්තිමට මේ මරාලය කඩං වැටුණේ අපේ තාත්තගේ ඉහට. තාත්තා ඉතිං නිවුණු කෙනෙක් නිසත් , ගුරුවරයෙක් උණ බෑනට සීයගේ තිබුණු  පොඩි පහේ සැලකිල්ල නිසත් ජාමේ බේර ගනී කියලා තමයි කට්ටිය හිතුවේ.

කොහොමින් කොහොම හරි කල් යල් බලලා ඔන්න තාත්තා පටන් ගත්තා කතාව. අපේ අම්මව සහේට ගන්ට කලින් ඉදංම මේ දෙන්නා මාමයි බෑනයි නිසා වැඩේ ලේසි උණා.

හැබැයි ඉතිං පටන් ගත්තු ගමංම සීයගේ පරණ පුරාජේරු කතා ටික නං විසි කෝටි එක්වන වතාවටත් අහන්ට වෙනවට මෙන්න කැට.

ඔන්න මුන්දැ පටන් ගත්තෙ නැතැයි  ගම් හතකට මැම්බොර්කොම කොරපු හැටියි , ඒ කාලේ ගං තුලාන ඔලට කොරපු වැඩයි, ඒ මදිවට ඒ කාලේ හිටපු ඇමතිවරු එක්ක ගමං බිමං ගිය හැටියි, උන්දැ මහ ගේ හදලා ගත්තු ඇට්ටෝං උත්සවයට ඇවිත් ඒ කාලේ හිටපු කතානායක මුලිංම මේසේ ඉඳුල් කොරපු හැටියි, එකී මෙකී උන්දැගෙ පරණ  පුරාජේරුව. හැබැයි ඉතිං වැඩේ කියන්නේ ඒ ඔක්කොම ඇත්ත නොවැ.

කොහොමිං කොහොම හරි තාත්තා කතාව දැම්මා කියහංකෝ. රටේ කොල්ලෝ මරණ  හැටි, ගංගාවල මිනී පාවෙන හැටි, රටට වෙන නස්පැත්ති, මාමණ්ඩිගේ අනාගතේ ගැන. අපරාදේ කියන්ට බැහැ මේ ඔක්කොම උන්දැ හ්ම් නොකියා අහං උන්නා.

අන්තිමට කියපි හොඳයි ඔච්චර කියන එකේ හිතලා බලංඤංකෝ කියලා. කට්ටියගේ ඉතිං ඉහේ මලක් පිපුණා  සමානයි. ඇයි අප්පා එක ඡන්දයක් හරි අලියට අඩු උණා කියන්නෙ එසේ මෙසේ දිනුමක්ද. හා නැද්ද මං කියන්නේ.

හප්පොච්චියේ බලන්ට එපායැ ඒ දවස්වල සීයට තිබුණු  සැලකිලි. කට්ටිය සීයට කේන්ති යන වැඩ කොලේම නැහැ. අපිටත් දැනුම්  දීලයි තිබුණේ  සීයව තරහ ගස්සලා අහුවෙන්ට එපා කියලා.

ඒ දවස්වල හැම අල්ල පනල්ලෙම ගෙදර කතා උණේම තියෙන ආණ්ඩුව  කොරන වැරදි වැඩ ගැනමයි. මාමණ්ඩිත්  උදාහරණ  සහිතව විස්ස විජ්ජාලේ මිතුරන්ට වෙච්ච නස්පැත්ති ඉදිරිපත් කොලා. සීයත් බොහෝම සාවධානව  කන් දෙනවා. හරිම පුදුමයි.

කොහොම හරි ඔන්න ඡන්දෙ දවසේ උදෙන්ම මාමණ්ඩි  හරි ආදරෙන් සීයව බයිසිකලේ තියාගෙන ඡන්ද පොළට ගියපි. ගෙදරින් එලියට බහිද්දිම කට්ටිය සීයට මතක් කොළා ඡන්දෙ දෙන විදිය.

කොහොම හරි මාමණ්ඩි  මග දිගටම කියව කියව ගියේ අලියට ඡන්දෙ දීමේ ආදීනවලු නොවැ. සීයත් හූමිටි දිදී ගියා කියන්නෙ.

ඔන්න ඡන්දපොළට ඇතුල් වෙද්දිත් මාමණ්ඩි  සීයට මතක් කොරනවා. පෝලිමේ යද්දිත් මතක් කොරනවා. සීයත් වගේ වගක් නැතුව ඔලුව හොල්ල හොල්ල ගිහින් ඡන්දෙ දැම්මා කියහංකෝ.

ඔන්න ආපහු එන ගමන්
මාමණ්ඩිට ඇහුවලු තාත්තේ අපි කියපු විදියට කොළා නේද කියලා. සීයත් ඔලුව වැනුවලු.

ඒත් මාමණ්ඩිට ෂුවර් නැතිලු . මාමණ්ඩි  ආයෙත් අහනවලු තාත්තේ මං කියපු එකට දුන්නා නේද කියලා. සීයා සද්ද නැතිලු.

ඔන්න ගෙවල් කිට්ටුව වෙල්යාය මැදිං දෙන්නා එනවලු. මාමණ්ඩි  ආයෙත් ඇහුවලු  තාත්තේ මොකේටද ඡන්දෙ දුන්නෙ කියලා.

සීයට මළ පැනපු පාර කිව්වලු වෙන මොකට දෙන්ටද බං වෙනදා පුරුදු විදියට අලියට ඉස්සරහින් කතිරෙ ගැහුවා කියලා.

අපේ මාමණ්ඩිට මොනවා හිතෙන්ට ඇති කියලද හිතෙන්නේ අප්පා.

තාත්තා නොවුණා නං බයිසිකලෙන් ඇදලා දාලා වෙලේ ඔබලයි එන්නෙ කියලා මාමණ්ඩි  කිවුවෙ ගෙදර දොරකඩදිද නැත්තං ගේට්ටුව ළඟදිද කියලා මට තවම හරියට නිච්චි නැහැ අප්පා.






Thursday 5 May 2016

කොල්ලො කියපි “ පිනිජම්බු මල“


ගැහැනු  ළමයෙකු වුණත් පිරිමි වැඩ කොරපු මට ගෙදර කට්ටිය කිව්වෙ " මේකී කෙල්ලෙක් උණාට වඩා හොඳයි කොල්ලෙක් උණානං" කියලයි. ඇයි කොරන තරමක් කොලේ ඉතිං කොලු වැඩමනේ.
 

අක්කර  ගාණක  සුන්දර වටපිටාවක් තිබුණු  පොල්වත්තක නිදහසේ සැරිසරන්න පුරුදු වෙලා උන්නු නිසාමයි ඉස්කොලේ අහවර වෙලා ආපු ඇසිල්ලෙන් කෑවයින් නොකෑවයින් අපේ ගේ ළඟම තියෙන ආච්චිලයි ගෙදර  දුවන්නේ. වෙන මක්කටවත් නෙවෙයි ඉතිං.... මගේ වැඩ වලටම ගැලපෙන අක්කලා, මල්ලිලා එක්ක මොකක් හරි  නොසංඩාල වැඩක් කොරන්ටම තමයි.

අපේ ආච්චිලයි  ගේ ඉස්සරහ තිබුණා වාරෙට වැලි වගේ ගෙඩි හැදෙන දාර පිණිජම්බු ගහක්. ගහේ මුල ඉඳං  අඩි 10ක් විතර යනකල් කිසිම අත්තක් නැති  තනි කඳ උණාට ඕකට නඟින එක මේ මට මොන කජ්ජක්ද.

හැබැයි ඉතිං මේ ගහ සීයා අපිට තහනම් කොරලයි තිබුණේ. අපේ සීයා බොහොම සැර පරුෂ කෙනෙක් නිසා අපි උන්දෑ ඉන්න වෙලාවට වැඩිය ගහ උඩ බැලුවෙ නැහැ. හැබැයි ඉතිං උන්දැ නැති අල්ල පනල්ලෙ මම මේ ගහට නැඟගන්නවා කියහංකො. ගමේ කොල්ලො අන්තිමට මට නමක් දැම්මෙ නැතැයි "පිණිජම්බු මල" කියලා.

කොහොමින් කොහොම හරි කමක් නැහැ මේ කියන සිද්ධිය  වෙනකොට මටත් අවුරුදු  14 ක් විතර ඇති. ගමේ  භාෂාවෙන්  කියනව නම් ජම්බු ගහෙන් වැටුණ  අලුතමයි .ඒ කිව්ව ගහ පිණි ජම්බු ගහ නොවෙයි හොඳේ.

ඉතිං යමුකො කතාවට.

සීයා එහෙට මෙහෙට වෙනකල් හොරගල් අහුල අහුල උන්න අපිට ඔන්න ඉබ්බා දියට දැම්මා වගේ  තමයි  සීයා කොහෙද ගමනක්  ගිය එක.

අර මටත් වඩා වැඩිමල් උං ඔක්කොම ඉද්දි මං නැගපි ජම්බු ගහට. ඔන්න ඉතිං මං ජම්බු කඩනවා. බිම ඉන්න  උං අහුලනවා. බිම ඉන්න කට්ටිය එක එක නියෝග දෙනවා. අන්න අර අත්තෙ ලොකු ගෙඩි තියෙනවා. ඔය උඩ අත්තෙ ගෙඩි හොඳට ඉදිලා කිය කියා.

ටික වේලාවක් යද්දි ඕං කට්ටියගේ සද්දෙ නැති උණා. මමත් හොඳ ඉදුණු  ජම්බු ගෙඩියක්  කඩන් උඩ ඉදංම කන්න ගත්තා. මොකද බිමට බහිද්දි ඉතුරු වෙන්නෙ බිම ඉන්න උන්ට කන්න බැරි අමු ගෙඩි ටික විතරයි කියලා අත්දැකීමෙන්ම මං දන්න හංදා.

කෙහොමින් කොහොම හරි ඔය  අල්ල පනල්ලේ  සීයා ගිය පයිංම ඇවිත් කියහංකෝ. ඈතිං එන සීයව  දැකපු ගමං උඩ ඉන්න මටවත් නොකියා අපේ උං ටික එහෙ මෙහෙ ගිහිං හැංගිලා. ඕනම නෂ්කූනිවැඩක් කොරන්ට කලින් වෙනද වගේම ආච්චිටත් කියලා  තිබුණු නිසා සීයා දැකපු ගමන් උන්දැටත් තරු පේන්ට ඇති.

මිදුලට එනකොටම පේන ජම්බුගහේ "මෙන්න බොලේ ජම්බු වැටිලා හැම තැනම" කිය කිය සීයා ජම්බු ඇහිඳිනවලු.

මම දන්නවයැ ඔය අටමගලයක්. මමත් උඩ ඉඳං  බිම ඉන්න උන්ගෙන් ඇහුවා " දැං ජම්බු ඇති නේදෝ.... සීයා එන්න කළිං බහින්නම් නේදෝ.." කියලා.

උඩ බලන්නත් කලින් සීයා දන්නවා ගහේ ඉන්නෙ කවුද කියලා. මොකද ඔය වගේ නසරානි වැඩ කොරන්නෙ වෙන කවුද මම මිසක්. මං ඕවට කප් ගහලනෙ උන්නෙ.

ළඟ තිබුණු  පොල්පිත්තක් ගත්තු සීයා ගහ මුලට වෙලා ඉන්නවා මම බහිනකල්. පොල් පිති පාර දෙන්න. මම වගේ වගක් නැතුව ගහ උඩ.

ඔහොම විනාඩි 10 ක් විතර හිටියා කියහංකො. බැරිම තැන සීයා කෑ ගහනවා බැහැපන් බිමට කියලා. මම කියනවා බැස්සොත් ගහන නිසා මට බැරියෝ කියලා. සීයා බහින්න කියනවා. මම බෑ කියනවා .ආච්චි කනිපින්දම් ගහනවා. එකම ගාලගෝට්ටියයි.

සීයට ඔන්න ඉතිං මළ පැන්නා. ගෙදර තිබුණු  ඉනිමඟ ගහට තියපු මුංදැ මෙන්න අර පොල්පිති කෑල්ලකුත් ඉණේ ගහගෙන ගහට නඟිනවා. සීයා උඩට එනකොට මම ගහ මුදුණට නගිනවා. ආච්චි කෑ ගහනවා අනේ ඔය කෙල්ලව වැටෙයි කියලා. අපේ සීයා ඉතිං ආච්චි කියන ඒවා අහන ගොයියෙක්ද. උන්දැ නගිනවා. මමත් නගිනවා.

හැබැයි ඉතිං උන්දැ කොහෙද මාත් එක්ක ගස් නගින්නෙ. මං ගිරිතල්ලටම නැග්ගා කියහංකො. සීයලගෙ වයසට කොහෙද එහෙම හපං කමක්. උන්දෑටත් එතකොට 65 ත් පැනලා මගෙ හිතේ. කෙහොමින් කොහොම හරි මඟක් නැගල උන්දැ නැවතුණා. මම ගහ මුදුනේ. සීයා ගහේ මැද.

ඔන්න ඉතිං අර හැංගුණු  උං ටිකයි, ආච්චියි ගහ මුල. උං දන්නවා මාව අල්ලනවා බොරු කියලා. සීයත් ඇරියෙ නැහැ .පැය බාගයක් විතරම ඔහොම ගහේ දෙන්නම උන්නා. සීයා හොඳට  ඉඳගන්න අත්තක් හොයාගෙන ටිකක් පල්ලම් බහින අතරතුරේ මමත් හොඳ පොටක් පාද  ගත්තා.

ජම්බුගහ ලඟ තිබුණෙ පත කොස් ගහක්. ඒකේ ලොකු අත්තක් තියෙනවා ජම්බු ගහට පාත් වෙලා. කෙහොමින් කොහොම හරි අත්ත දිගේ කොස් ගහට ගොඩවුණ මම  කොස් ගහ දිගේ බිමට බැහැගත්තා. සීයා හොඳ අත්තක හරි බැරි ගැහිලා ඉඳගෙන ඉන්නවා මට බැටේ දෙන්න.

මමත් ඉතිං ඇරියෙ නැහැ. අර ඉනිමග අරන් පැත්තකින් තියලා බිම ඉඳං සීයට නක්කලේට කෑ ගැහුවා. හූ... හූ.... මම බිම... සීයා උඩ... කියලා. තරහයි ලැජ්ජාවටයි දෙකටමද මංදා සීයත් දනිපනි ගාලා බිමට බහින්න හදද්දි ඉණිමඟ නැහැ කියහංකො. උන්දැට මළ පැන්න පාර පැන්නා නොවැ  අර අඩිගාණක් උඩ ඉඳං  බිමට. උන්දැත් කොරන්ට පුළුවන් දේවල්  එපැයි කොරන්ට. තිරිහන් කාලේ කොරපුවා 65 න් කොරන්ට පුළුවන්ද .

කොහොමින් හරි පස්ස බිම ඇනිලා ගහෙන් වැටුණු සීයගෙ කකුලක් ඇමැට්ටි වෙලා මාස ගාණක් තෙල් බැන්දා.

අන්තිමට සීයගේ පොල් පිති පාරට එහා ගිය සම්බුවක් නම් මට ලැබුණා අම්මගෙන්. අම්මෝ ඒ පාරවල් නම් තවම රිදෙනවා රිදෙනවා වගේ. හනසු, මටුළු, බූවළු, කෝටූ එකී මෙකී නොකී දේවල් වලින් එසේ මෙසේ ප්‍රහාරයක් නෙවෙයි එල්ල උණේ.

හැබැයි ඉතිං ඔය මොන ප්‍රහාර ආවත් අපි සැලුණෙ නැහැ. ඊළඟ ජම්බු වාරෙත් මං ගහේ.













Sunday 1 May 2016

මෙන්න ඉතිං පටං ගත්ත කැකිරි පලන පොල්කිචි කතා





මම පොල්කිච්චා...
ඕන්න ඉතිං අපි පොල්කිචි ජෝඩුව කච බචේ පටන් ගන්නයි යන්නෙ. පොල්කිච්චිට කතා ගොඩක් තියෙන හංදා එයා වැඩියෙන් ලියන්නම් කිව්වා.

මම පොල්කිච්චී...
ඔන්න බලන්න වැඩේ...දෙන්නම ලියමු කියල පටන් අරං දැන් මෙයා මග අරින්න යනවෝ..වස කම්මැලියෙක් අනේ..

කම්මැලිකමක් නොවෙයි බං...මට මේ වයසට යනවත් එක්කම අමතක වීමේ ලෙඩේ හැදිලද කොහෙද..පොල්කිච්චි නං ඉතිං තාම ගැටිස්සි නොවුණත් ගැටිස්සි කියල හිතාගෙන ඉන්න නිසා කතා හොඳට මතකයි..

ගමේ කතා, කැම්පස් කතා, පාසලේ කතා, අහපු කතා, ඇහුණු කතා, අපිට වෙච්චි කතා, පන්සලේ කතා, පල්ලියෙ කතා, එකී කතා, මෙකී කතා, වැඩියෙන්ම කඩප්පුලි කතා...

අම්මෝ...මෙයාමයි කිව්වෙ ඔය කඩප්පුලි කතා ටිකකුත් කියල දාමු..එතකොට කට්ටිය එකක් ලිවම තව එකක් එන තුරු බලා ඉඳීවි කියලා..

හරි ඉතිං එහෙම කියන්න වුණත් දැනං ඉන්න එපැයි...

අපේ ඔය හොර බොරු නැහැනෙ....අපි දැනං ඉන්න ඒව කියනව තමයි. හංගන්නෙ නැතිව..

දැනං උන්නත් ටියුබ් ලයිට් හංදා තේරෙන්න වෙලා ගතවෙනවනෙ.

මොකක්ද අනේ ටියුබ් ලයිට් කියන්නෙ..

ඒකත් කියා දීපල්ලකෝ ඉතිං......ඒකත් ටියුබ් ලයිට්ද.... කොහෙද...

ඔන්න දැං තේරෙනවනෙ මොකද වෙන්න යන්නෙ කියලා...පොල්කිච්චි කතා ගොඩාක් දන්නවා...පොල්කිච්ච දන්නෙ ටිකායී..
පොල්කිච්චි කතා කියන්න හපනී..කච..බච..කච..බච...
පොල්කිච්චා ඇඹේනිට මහන්සි දැනෙද්දි සබයට එනවා...

බෑ..බෑ...එහෙම බෑ....ඔන්න එහෙනම් මෙහෙම කරමු...පොල්කිච්චි කතා දෙකයි....පොල්කිච්චා කතාවකුයි.......ඒ විදිහට...

නෑ....නෑ...එහෙම බෑ....පොල්කිච්චි කතා තුනයි...පොල්කිච්චා කතාවයි ගානෙ ලියමූ.......

හරි....රණ්ඩු ඇති...අපි පටන් ගනිමුකෝ...එතකොට බලාගන්න බැරිවයැ කව්ද...කොහොමද ලියන්නෙ කියලා...

ඔන්න ඉතිං පොල්කිච්චයි...පොල්කිච්චියි වන අපි දෙන්න දෙමල්ලෝ කටකමසිරියාවක් නැතිව අපේ කතා පෙට්ටගම අවුස්සන්නයි යන්නේ...