ඇයි බොලල්ලා පොල්කිච්චට විතරද පොලිටික්ස් කතා තියෙන්නේ. අපිත් දන්නවා පොලිටික්කන්ගේ හොඳ හොඳ කතා.
මේ කියන්ට යන කතාන්දරේ චරිත දෙකම මේ වෙනකොට මිය පරලොව ගිහින් නිසා මේක කිව්වට මක් වෙනවද කියලයි මං පොල්කිච්චිට හිතුණේ.
බණ්ඩාරනායක උන්නැහේ ශ්‍රී ලංකා එක ආරම්භ කොරපු සංදියේ ඉදංම සාමාජිකයෙක් වුණු අපේ ගම් පලාතේ නමගිය මංත්‍රී ගොයියෙක් ගැනයි බොලල්ලා මේ කතාව.
මුන්නැහෙ පස්සෙන් පහු කාලෙක ඇමතිකමුත් කොලා කියනවා නොවැ.
අදටත් උන්නැහෙගේ පරම්පරාවේ උදවිය අපේ වැයික්කියෙ දේශපාලනේ කොරන නිසා නම් ගම් ලියන්නෙ නැහැ ඔන්න.
මේ මංත්‍රී ගොයියා බොහෝම රූප සම්පන්න කෙනෙක් අප්පා.
ඒ සංදියේ අපේ ගම්වොල කාන්තා පාර්ශවේ පිස්සු වැටිලා උන්නෙ කියනවා නොවැ මුන්දැට.
හැබැයි ඉතිං කොයිතරං ලොකු තානාන්තර දැරුවත් කිසිම අගයක් ආඩම්බරයක් නැති හාදයෙක් කියලයි ප්‍රසිද්ධ වෙලා උන්නේ.
රූප ලස්සනේ හිංදද, වස්තු සම්පත්ති නිසාද බල පරාක්කරමේ නිසාද මංදා මුන්නැහේ එසේ මෙසේ කයි කතන්දර ටිකක් නොවෙයි අහගත්තේ කියනවා නොවැ.
මුන්නැහේ ඉතිං බවලත්තුන්ට හරිම කෑදරයි කියලා තමයි මේ පැත්තේ ප්‍රසිද්ධ වෙලා උන්නේ.
මේ කලේ වෙනකොට අපේ ගම්පලාතේ හිටියා රජගෙදර ඇත්තන්ට අනුශාසනා කොරන බොහෝම බල පරාක්‍රම ඇතුව හිටපු පණ්ඩිත හාමුදුරුනමක්.
උන්නාන්සෙට අර මංත්‍රීවරයාගේ ක්‍රියාකලාපේ ඇල්ලුවෙ නැහැ. පක්ෂෙට විතරක් නෙවෙයි රජගෙදර ඇත්තන්ටත් උන්නැහේ ලැජ්ජා කොරනවා කියලයි උන්වහන්සේ හිතුවේ.
ඒ නිසාම මේ ගැන රජගෙදර ඇත්තන්ටත් කීප වතාවක් ගතු කේලම් කියලා අවවාදත් කෙරෙව්වලු.
අපේ මංත්‍රී උන්නැහෙ ඉතිං එහෙම අවවාද අහන ගොය්යෙක්ද අප්පා.
ඉතිං උන්නැහේ මේ කතා තඹේකට මායිං කොලේ නැතිලු.
පස්සෙ පස්සේ හාමුදුරුවෝ මේ ගැන ගම් පැත්තේ දේශපාලනය කොරන ඇත්තෝ එක්කත් දොස් කියන්ට ගත්තලු.
මේ ගැන දැනගත්තු මංත්‍රීගොයියට මළ පැන්නා කියනවා නොවැ.
උන්නැහේ හිතා ගත්තලු දෙන්නම් හාමුදුරුවන්ට හොඳ කසායක් කියලා.
ආයේ දොස් නොකියන්ට.
ඔන්න ඉතිං දවසක් අපේ මංත්‍රී උන්නැහෙ උන්දැගේ හිත ගත්තු අංගනාවෝ දෙන්නෙක් මයිනර් එකේ පස්සේ ආසනේ පටවගෙන මුංදැම වාහනේ පැදගෙන රවුමක් යන අල්ල පනල්ලේ හාමුදුරුවෝ වැඩ ඉන්නවලු පන්සලට වඩින්ට බස් එකක් එනකල් බස් නැවතුමේ.
ඔන්න ඉතිං අපේ මංත්‍රීතුමාට හිටි හැටියේ ආගමික භක්තිය පහළ උණාලු.
උපන්ගෙයි කතෝලිකයෙක් උණත් කවදාවත් ආගම් බේදයක් නොතිබුණු මුන්නැහේ වාහනේ නතර කොරලා බොහෝම ශ්‍රද්ධාවෙන් හාමුදුරුවන්ට පසඟ පිහිටුවලා වැන්දා කියහංකෝ මේ දෙනෝදාහක් යන මහපාරේ.
අනේ ඉතිං හාමුදුරුවන්ට හිතෙන්ට ඇති මුන්නැහේ ඔක්කෝම වැරදි අඩුපාඩු හදාගෙන දැන් තැන්පත් වෙලා කියලා.
වැඳලා එකත්පස් වුණ මංත්‍රීතුමා හාමුදුරුවන්ට ආරාධනා කොලාලු තමංගේ වාහනෙන් පංසලට වඩින්ට.
උන්නාන්සෙත් ඉතිං පරණ තරහ මරහ ඔක්කොම අමතක කොරලා නැග්ගා කියහංකො වාහනේට.
ඔන්න උන්නානසෙයි මංත්‍රී උන්නැහෙයි දැන් ඉස්සරහ ආසනේ යනවා. අර කාන්තාවෝ සද්ද හා හූවක් නැතිව පස්සෙ ආසනේ.
හාමුදුරුවෝ වාහනේ වඩින ගමනුත් අනුශාසනා කොරනවලු යහපත් පැවැත්ම ගැනයි, හොඳ හැදියාව ගැනයි, අරකයි මේකයි ගැනයි.
මංත්‍රී උන්නැහෙත් එහෙයි, එහෙයි කිය කිය බොහෝම බය පක්ෂපාතව හූමිටි තියනවා.
හාමුදුරුවන්ටම පුදුමයි මේ නාහට නාහන කටහැකර කතා කියන මංත්‍රීතුමාද කියලා.
ඔන්න ටික දුරක් යනකොට අර බවලත්තුන්ගේ ජම්ම පුරුද්ද ආවලු.
හාමුදුරුවන්ට පිටිපස්සෙන් කසු කුසුවක් ඇහෙනවලු .
හාමුදුරුවෝ බොහෝම වේගෙන් පස්ස හැරිලා බැලුවලු. අර බවලත්තු දැකපු හාමුදුරුවෝ යක්ෂාවේශ උණාලු.
උන්නාන්සේ බොහෝම හයියෙන් ඇහුවලු "කවුද බොල මේ" කියලා.
මංත්‍රී කිව්වලු "මේ මගේ ප්‍රේමවන්තියෝ" කියලා.
හාමුදුරුවෝ පුදුමයෙන් ඇහුවලු "දෙන්නෙක්ම" කියලා.
මංත්‍රී උන්නැහේ කිව්වලු "හපෝ බෙරිහන් දෙන්න එපා හාමුදුරුවනේ දෙන්නම මට නොවෙයි. එකියක් ඔබ වහන්සේට. අනිකි මට" කියලා.
මේක අහපු උන්නාන්සේට මොනවා හිතෙන්ට ඇතිද අප්පා.
කොහොමින් කොහොමහරි හාමුදුරුවෝ වාහනෙන් බිමට පැනපු නැති ටික විතරලු.
හාමුදුරුවන්ට මංත්‍රීගේ බෙල්ල මිරිකන්ටත් හිතෙන්ට ඇති මගේ හිතේ.
කොහොමහරි උන්නාන්සේ කෑ ගහලා අතරමග වාහනේ නවත්තගෙන බිමට බහිනකොටම මංත්‍රීතුමා කිව්වලු "පවට පින දෙන්ට බැහැනේ ඉතිං. ඔබ වහන්සේට එපානම් මක් කොරන්ටද . මට නම් දෙකක් වැඩි නැහැ" කියලා.
වාහනෙන් බැහැපු හාමුදුරුවෝ මංත්‍රීගොයියට රැව්වලු රැවිල්ලක් අළු දූලි වෙලා යන්ට.
අපරාදේ කියන්ට බැහැ හැබැයි ඊට පස්සෙන් පහු හාමුදුරුවෝ මංත්‍රී උන්නැහේට විරුද්ධව කටක් හෙල්ලුවෙ නැහැ කියනවා නොවැ.
අපේ මංත්‍රී උත්තමයත් ඉතිං කොරන්ට ඕනේ කෙලි ඔක්කොම කොරලලු මිය පරලොව ගියෙ අප්පා.