Friday 1 July 2016

මට නම් දෙකක් වැඩි නැහැ හාමුදුරුවනේ....




ඇයි  බොලල්ලා  පොල්කිච්චට  විතරද පොලිටික්ස් කතා තියෙන්නේ. අපිත් දන්නවා පොලිටික්කන්ගේ හොඳ  හොඳ  කතා.

මේ කියන්ට යන කතාන්දරේ චරිත දෙකම මේ වෙනකොට මිය පරලොව  ගිහින් නිසා මේක කිව්වට මක් වෙනවද කියලයි මං පොල්කිච්චිට හිතුණේ.

බණ්ඩාරනායක  උන්නැහේ  ශ්‍රී  ලංකා එක ආරම්භ  කොරපු සංදියේ ඉදංම සාමාජිකයෙක් වුණු අපේ ගම් පලාතේ නමගිය මංත්‍රී ගොයියෙක් ගැනයි බොලල්ලා මේ කතාව.

මුන්නැහෙ පස්සෙන් පහු කාලෙක ඇමතිකමුත් කොලා කියනවා නොවැ.

අදටත් උන්නැහෙගේ පරම්පරාවේ උදවිය අපේ වැයික්කියෙ දේශපාලනේ කොරන නිසා නම් ගම් ලියන්නෙ නැහැ ඔන්න.

මේ
මංත්‍රී ගොයියා  බොහෝම  රූප සම්පන්න කෙනෙක් අප්පා.

ඒ සංදියේ අපේ ගම්වොල කාන්තා පාර්ශවේ පිස්සු වැටිලා උන්නෙ කියනවා නොවැ මුන්දැට.

හැබැයි ඉතිං කොයිතරං ලොකු තානාන්තර  දැරුවත් කිසිම අගයක් ආඩම්බරයක්  නැති හාදයෙක් කියලයි  ප්‍රසිද්ධ වෙලා උන්නේ.

රූප ලස්සනේ හිංදද, වස්තු සම්පත්ති නිසාද බල පරාක්කරමේ නිසාද මංදා මුන්නැහේ එසේ මෙසේ කයි කතන්දර ටිකක් නොවෙයි අහගත්තේ කියනවා නොවැ.

මුන්නැහේ ඉතිං බවලත්තුන්ට හරිම කෑදරයි  කියලා තමයි මේ පැත්තේ ප්‍රසිද්ධ වෙලා උන්නේ.

මේ කලේ වෙනකොට අපේ ගම්පලාතේ හිටියා රජගෙදර ඇත්තන්ට අනුශාසනා  කොරන බොහෝම බල පරාක්‍රම  ඇතුව හිටපු  පණ්ඩිත හාමුදුරුනමක්.

උන්නාන්සෙට අර මංත්‍රීවරයාගේ ක්‍රියාකලාපේ ඇල්ලුවෙ නැහැ. පක්ෂෙට විතරක් නෙවෙයි රජගෙදර ඇත්තන්ටත් උන්නැහේ ලැජ්ජා කොරනවා කියලයි උන්වහන්සේ  හිතුවේ.

ඒ නිසාම මේ ගැන රජගෙදර ඇත්තන්ටත් කීප වතාවක් ගතු කේලම් කියලා අවවාදත් කෙරෙව්වලු.

අපේ
මංත්‍රී උන්නැහෙ ඉතිං එහෙම අවවාද අහන ගොය්යෙක්ද අප්පා.

ඉතිං උන්නැහේ මේ කතා තඹේකට මායිං කොලේ නැතිලු.

පස්සෙ පස්සේ හාමුදුරුවෝ  මේ ගැන ගම් පැත්තේ දේශපාලනය කොරන ඇත්තෝ එක්කත් දොස් කියන්ට ගත්තලු.

මේ ගැන දැනගත්තු
මංත්‍රීගොයියට මළ පැන්නා කියනවා නොවැ.

උන්නැහේ හිතා ගත්තලු දෙන්නම් හාමුදුරුවන්ට හොඳ කසායක් කියලා.
ආයේ දොස් නොකියන්ට.

ඔන්න ඉතිං දවසක් අපේ
මංත්‍රී උන්නැහෙ උන්දැගේ හිත ගත්තු අංගනාවෝ දෙන්නෙක් මයිනර් එකේ පස්සේ ආසනේ පටවගෙන මුංදැම වාහනේ පැදගෙන රවුමක් යන අල්ල පනල්ලේ හාමුදුරුවෝ  වැඩ ඉන්නවලු පන්සලට වඩින්ට බස් එකක් එනකල්  බස් නැවතුමේ.

ඔන්න ඉතිං අපේ
මංත්‍රීතුමාට හිටි හැටියේ ආගමික භක්තිය  පහළ උණාලු.

උපන්ගෙයි  කතෝලිකයෙක් උණත් කවදාවත් ආගම් බේදයක් නොතිබුණු මුන්නැහේ වාහනේ නතර කොරලා බොහෝම ශ්‍රද්ධාවෙන් හාමුදුරුවන්ට  පසඟ පිහිටුවලා වැන්දා කියහංකෝ මේ දෙනෝදාහක් යන මහපාරේ.

අනේ ඉතිං හාමුදුරුවන්ට  හිතෙන්ට ඇති මුන්නැහේ ඔක්කෝම වැරදි අඩුපාඩු හදාගෙන දැන් තැන්පත් වෙලා කියලා.

වැඳලා එකත්පස් වුණ
මංත්‍රීතුමා හාමුදුරුවන්ට  ආරාධනා  කොලාලු තමංගේ වාහනෙන් පංසලට වඩින්ට.

උන්නාන්සෙත් ඉතිං පරණ තරහ මරහ ඔක්කොම අමතක කොරලා නැග්ගා කියහංකො වාහනේට.

ඔන්න උන්නානසෙයි
මංත්‍රී උන්නැහෙයි දැන්  ඉස්සරහ ආසනේ යනවා. අර කාන්තාවෝ සද්ද හා හූවක් නැතිව  පස්සෙ ආසනේ.

හාමුදුරුවෝ  වාහනේ වඩින ගමනුත් අනුශාසනා කොරනවලු යහපත් පැවැත්ම ගැනයි, හොඳ හැදියාව ගැනයි, අරකයි මේකයි ගැනයි.
මංත්‍රී උන්නැහෙත් එහෙයි, එහෙයි කිය කිය බොහෝම බය පක්ෂපාතව හූමිටි තියනවා.

හාමුදුරුවන්ටම පුදුමයි මේ නාහට නාහන කටහැකර කතා කියන
මංත්‍රීතුමාද කියලා.

ඔන්න ටික දුරක් යනකොට අර බවලත්තුන්ගේ ජම්ම පුරුද්ද ආවලු.

හාමුදුරුවන්ට පිටිපස්සෙන් කසු කුසුවක්  ඇහෙනවලු . 


හාමුදුරුවෝ  බොහෝම වේගෙන්  පස්ස හැරිලා බැලුවලු. අර බවලත්තු  දැකපු හාමුදුරුවෝ  යක්ෂාවේශ උණාලු.

උන්නාන්සේ බොහෝම හයියෙන් ඇහුවලු "කවුද බොල මේ" කියලා.
මංත්‍රී කිව්වලු "මේ මගේ ප්‍රේමවන්තියෝ" කියලා.

හාමුදුරුවෝ  පුදුමයෙන් ඇහුවලු  "දෙන්නෙක්ම" කියලා.
මංත්‍රී උන්නැහේ  කිව්වලු "හපෝ බෙරිහන් දෙන්න එපා හාමුදුරුවනේ දෙන්නම මට නොවෙයි. එකියක්  ඔබ වහන්සේට. අනිකි මට" කියලා.

මේක අහපු උන්නාන්සේට මොනවා හිතෙන්ට ඇතිද අප්පා.

කොහොමින් කොහොමහරි හාමුදුරුවෝ වාහනෙන් බිමට පැනපු නැති ටික විතරලු.
හාමුදුරුවන්ට මංත්‍රීගේ බෙල්ල මිරිකන්ටත් හිතෙන්ට ඇති මගේ හිතේ.

කොහොමහරි උන්නාන්සේ  කෑ ගහලා අතරමග වාහනේ නවත්තගෙන බිමට බහිනකොටම
මංත්‍රීතුමා කිව්වලු "පවට පින දෙන්ට බැහැනේ ඉතිං. ඔබ වහන්සේට එපානම් මක් කොරන්ටද . මට නම් දෙකක් වැඩි නැහැ" කියලා.

වාහනෙන්  බැහැපු හාමුදුරුවෝ 
මංත්‍රීගොයියට රැව්වලු රැවිල්ලක් අළු දූලි වෙලා යන්ට.

අපරාදේ  කියන්ට බැහැ හැබැයි ඊට පස්සෙන් පහු හාමුදුරුවෝ 
මංත්‍රී උන්නැහේට විරුද්ධව කටක් හෙල්ලුවෙ නැහැ කියනවා නොවැ.

අපේ
මංත්‍රී උත්තමයත් ඉතිං කොරන්ට ඕනේ කෙලි ඔක්කොම කොරලලු මිය පරලොව ගියෙ අප්පා.





Monday 13 June 2016

සඳලුතලේ වලු සෙලවේ....



මේ කියන්ට සූජානම් වෙන සංගෑදිය වෙලා තියෙන්නේ ඕං මං පොල්කිච්චා විස්ස විජ්ජාලෙ යන්ටත් සෑහෙන කාලෙකට කලිනුයි බොලල්ලා.

මං හිතන්නේ හාල් පොලු  ආංඩුව පිහිටෙව්ව කාලෙ වෙන්ට ඕනෙ.

මේ කතා කෑල්ල අහුල ගත්තෙ නම් ඉතිං පොල්කිච්චට නිකන් කට තියන් ඉන්ට බැරුව පේරාදෙනියෙ හොස්ටල් වලට ගැහැනු පිරිමි ළමයි බෙදල තියෙන විදිහෙ අවුලක් පෙනිල ඒ මොකෝ කියල ජේස්ට උත්තමයින්ගෙන් අහපු පුරස්නෙකින් අප්පා..

හැම විස්ස විජ්ජාලෙකම වගේ පිරිමි හොස්ටල් තියෙන්නෙ එක කිට්ටුව වගේම තමයි කාන්තා හොස්ටල් තියෙන්නේ එවායෙන් ටිකක් ඈතට වෙන්ට එක පොකුරට .

වැඩේ කියන්නේ හැබැයි පොල්කිච්චා  විස්ස විජ්ජාලේ  යන කාලේ පේරාදෙනියේ  හොස්ටල් වල පොඩි වෙනසක් තිබුණා.

පිරිමි හොස්ටල් මැද්දේ තියෙන විජේවර්ධන එකේ මෙන්න බොලේ කෙල්ලෝ ඉන්නවා.

ඒ වගේම තමයි කාන්තා හොස්ටල් මැද්දේ තියෙන හිල්ඩා එකේ කොලු නඩයක් නවාතැන් අරගෙන.

 


 පොල්කිච්චට ආව පුරස්නේ තමයි ඕං ඕක.

කොල්ලො ගොඩේ ඇයි කෙල්ලො ඉන්නෙ කියන එක.

අපරාදේ කියන්ට බෑ ජේස්ට උත්තමයත් හොදට ලුණු  ඇඹුල් ඇතිව කියලා දුන්නෙ නැතැයි ඕං විජේවර්ධන එකෙන් කොලු නඩේ චුත කොරපු කතාව.

විස්ස විජ්ජාලේ පටන් ගත්තු සන්දියේ ඉඳන් විජේවර්ධන එක කොලු නඩයෙ නවාතැන් පොළක් තමයිලු බොලල්ලා.

විජේවර්ධන  එක තියෙන්නේ ඉතිං රේල් පාරට බොහෝම  කිට්ටුවෙං නොවැ.

සරසවි උයන ඉස්ටේසම  විවෘත කොරන්ට  හරි, එහෙම නොවේනං වෙන උත්සවේකට හරි කන්ද උඩරටට  ආපු  අගමැතිනි පේරාදෙනිය ඉස්ටේසමේ ඉඳන් සරසවි උයන ඉස්ටේසමට උත්සවසිරියෙන් කැඳවගෙන ඇවිත් තියෙන්නෙ රේල්ලුවෙන්නෙ.

රේල්ලුව හොඳට සරසල, ලොකු පොරචාරයකුත් දීලයි කියහල්ලකො අගමැතිනියව කැන්දගෙන  ඇවිත් තියෙන්නෙ.

පත්තරකාරයොයි, ආංඩුවෙ ලොකු තානාත්තර දරපු මහත්තැන්ලයි, මැති ඇමැතිවරුයි ඉතිං එන්ට නැතැයි මැතිනිගේ සාරි පොටේ එල්ලිලා.

හා ..නැද්ද මං කියන්නෙ...

ඇයි අප්පොච්වියේ එසේ මෙසේ  වැඩක්යැයි ඉතිං ලෝකෙන්ම පළමු අගමැතිනිය රේල්ලුවක  යනව කිව්වම.

කඩප්පුලි කැම්පස් කොල්ලො මොකද දන්නවද කොරල තියෙන දේ....

මුං ටික මැතිනි එන රේල්ලුව එන වෙලාව බලල විජේවර්ධන  එකේ රේල් පාර පැත්තෙ සඳලුතලේට  නැගල සරොං උසාගෙන ඔලුව වහගෙන උන්නලු බලාපල්ලා රේල් පාර පැත්තටම හැරිල.

මුංගෙ අහවල් ඒවා එළියෙ එල්ලි එල්ලි තිබුණා  කියනවා නොවැ හුළං වැදි වැදි.

කොලු නඩෙි අගමැතිනිට ආචාර කොරලා තියෙන්නෙ  අහවල් ඒවා පෝලිමක්ම පෙන්නලයි කිව්වම කාටද ආඩම්බර ඕං.

එකම ජාතියේ ඒවා ගොඩක් එක තැන පෝලිමට දැක්කම මැතිනිට මොනවා හිතෙන්ට ඇතිද අප්පා.

මේ කඩප්පුලි වැඩේ ගැන මළ පැන්න වගකිවයුත්තෝ තීරණේ කොලාලු වහාම මේ කඩප්පුලි කොලු නඩේ  විජේවර්ධනෙන් අයින් කොරල ඒක කෙල්ලන්ගෙ නවාතැනක් කොරන්ට.

ඇයි ඉතිං කෙල්ලො  සාය උස්සන් හිටියත් උන්ට එල්ලෙන්ට මොනවත් තියෙන එකක්යැයි ඕං.

හැබැයි ඉතිං වැඩේ කියන්නේ ඊට පස්සේ රට කොරපු එක මහඑකෙක්වත් රේල්ලුවේ ඔතනින් උත්සව වොලට ගියේ නැහැ හොඳ වෙලාවට.

නැත්තං ඉතිං විජේවර්ධනේ හිටිය කෙලිච්චියෝ ටික මොනා කොරයිද කියලා කවුදැ  දන්නේ බොලල්ලා.



 


Friday 3 June 2016

මදැයි කෑල්ලක් නග්ග ගන්ට ගියා.



මේ කතාව නං හැබැයි මං පොල්කිච්චිට සිද්ධ වුණ එකක් හෙම නොවෙයි ඕං.
පොල්කිච්චි ඇදුරුකං කොරන ඉස්කෝලෙ ඇදුරුතුමෙකුට වෙච්චි සංගෑදියක් මේක.

අපේ ඉස්කෝලෙ ඉන්නව ටිකක් ඇහැට කනට පේන හිංගල උගන්නන ගුරුතුමෙක්.

ටිකක් තලත්තෑනි උණාට හැබැයි උන්දැ ඉතිං බොහෝම කටකාරයි.

මුන්නැහේ ඉස්කෝලෙ එන්නෙ තරුණ පහේ ඉළංදාරි පාවිච්චි කොරන ජාතියේ යතුරුපැදියක.

ඔන්න ඉතිං දවසක් මුන්නැහේ අර කියාපු වාහනෙන් ඉස්කෝලෙ එන්ට පිටත් වුණාලු.

ඔන්න ටික දුරක් එනකොට......

හෙනං ඉතිං ඒ කතාව උන්නැහේගෙන්ම අහගන්ටකො.

ඔන්න මම එදා ටිකක් පරක්කු වෙලයි ගෙදරින් පිටත් වුණේ.

ඒ හිංද මං ඉතිං ටිකක් වේගෙන් තමයි ආවෙ.

ඔන්න ටික දුරක් එනකොට සන්ග්ලාස් එකක් ඇඳුමෙ ඉස්සරහ ගහගෙන, ටිකක් කොට ටයිට් සායක් ඇඳගත්ත, යහමින් මේකප් දාගත්ත කාන්තාවක් පාරට පැනල අත දැම්ම කියහංකො.

මට ඉතිං උන් හැටි තැන් අමතක වුණා බොලල්ලා.

ගැහුණා බ්‍රේක් පාරක් එක තැන.

කොල්ලන්ගෙ භාෂාවෙන් කියනව නං අර කෑල්ලත් හිනා වුණා කියහංකො.

මගේ ඉහේ මලක් පිපුණ වගේ බං.

මමත් පනාව දාන ගමන් මතක් කොලේ වෙන මොකවත් නොවෙයි. මහ පාරෙ වලවල් තියෙන තැන්, අර හැමදාම වගේ බුරාගෙන් පනින බල්ලො ඉන්න තැන් වගේ හයියෙන් බ්‍රේක්ගහන තැන් ගැන විතරක් නොවෙයි. දෙයියො බලල වගේ වාහන ට්‍රැෆික් එකකටම අහුවෙනවනං කියලත් හිතුණ බං.

උඹලට කියන්ට මට ඉතිං ඒ තත්පරේට පැය ගාණක් සිද්ධ වෙන්ට තියෙන දේත් පෙනුණා බොලල්ලා.

කොහොමින් කොහොම හරි ඔය අල්ලපනල්ලේ කන ළඟින් ඇහුණෙ නැතැයි පෝං පෝං ගාල අලි හෝන් සද්දයක්.

මට යකා නැග්ග පාරට හැරිල බැලුව මොකාද මේ තදියන්ං කාරය කියල.

යකෝ අපි වැඩක් කරගන්න යනකොටනෙ මුනුත් හෝන් ගහන්නෙ.

මට ගිය තරහට ප්‍රෙෂර් තිබුණ නං එතනම සෙත්තපෝච්චි.

මං පස්ස හැරිල බලන අල්ලපනල්ලෙ අර කෑල්ල දුවල ගිහිං අර හෝන් ගහපු බස් එකට නැග්ග කියහංකො.

එතකොටයි බොලල්ල මට තේරුණේ අර කෑල්ල අත දික් කොරල තියෙන්නෙ මට නොවෙයි බස් එකට කියලා.

අර මවා ගත්තු හීන මාළිගා ඔක්කෝම කඩා වැටිල මං ඉතිං ඕක කල්පනා කොර කොර ඉස්කෝලෙට එනකොට මෙන්න බොලේ රතු ඉරත් වැදිල.

එදායින් පස්සෙ වයසක උන්දෙක් අත දැම්මත් මට සයිඩ් කන්නාඩියෙන් පිටිපස්ස බැලෙනව බං.




Friday 27 May 2016

කෙල්ලො එහෙම කියද්දී IP ට මොනා හිතෙන්ට ඇද්ද....





හහ්.. පොල්කිච්චට විතරද බෝඩිං කතා කියන්ට තියෙන්නේ . පොල්කිච්චිත් ඉතිං බෝඩිං වල කරක් ගහලා නැතුවයැ. පොල්කිච්චගේ බෝඩිං කතාවට එහා ගිය කතාවක් කියන්ටයි මේ මං පොල්කිච්චි තතනන්නේ.

පොල්කිච්චිව ඉතිං බොහෝම තරුණ  අවධියෙම ගුරු විද්‍යාලෙට තේරුණා නොවැ. යාංතං අවුරුදු  21 යි බොලං වයස එතකොට. තරුණ  ගැටිස්සි කාලේනෙ අප්පා.

හැබැයි ඉතිං මේ වෙනකොට පොල්කිච්චි විස්ස විජ්ජාලෙත් මාස හය හතක් ගත කොරලයි තිබුණේ.

අපේ තාත්තලා යන කාලේ වගේ නොවෙයි නොවැ දැන් ගුරු විද්‍යාල.
නම හිටංම වෙනස් කොරලනේ.

දැං ඒවට කියන්නේ විද්‍යාපීඨ කියලා නොවැ.

ඔය  විද්‍යාපීඨ වලට ඉතිං දීග ගිය අයව ඇතුල් කොර ගන්නෙ නැති නිසා  තරුණ  ඈයෝම තමයි හිටියේ.

මේ දවස්වොල හැමෝගෙම කතාව නවක වදය නිසාම මේ කතාවත් නවක වදයෙන්ම පටං ගන්නං හෙනං.

ඉදුං හිටුං කෑම බීම  ඔක්කොම එක්ක ගුරු පුහුණුව  දෙන හිංදා අපිට නිතරම එළියට යන්ට ලැබුනෙ නැහැ නොවැ. කොරන කෙළි ඔක්කොම ඉතිං ගේට්ටුවට ඇතුළෙදි තමයි.

කොහොමින් කොහොම හරි විද්‍යාපීඨෙට ගිය ගමන්ම ඉතිං පොඩි පොඩි වද වලට වගේම ලොකු ලොකු වද වලටත් ලක් නොවුණාම නොවේ ඉතිං.

ඒ කතා නං පස්සෙ කියන්ට බැරුවයැ.
යමුකො ඉතිං අපේ කතාවට.

අපේ නවකයෝ අතර උන්නා ටිකක් උස මහත ඇඟපත තියෙන පොලිසියේ ඉහළ තානාංතරයක් දරණ  පෙණුම තියෙන ගජ ඉලංදාරියෙක්.
අපිත් හොරෙං හොරෙන් උන්නැහෙ දිහා නොබැලුවත් නොවේ ඉතිං .

ඇයි අප්පා අපිත් ඇස් කන් තියෙන කෙල්ලො නොවැ.

කොහොමිං කොහොම හරි අපිව අල්ලගත්තු ජ්‍යෙෂ්ඨ උන්නැහෙලා ටිකක් ඈතිං ඉන්න නවක ඉලංදාරි රැළක්  පෙන්නලා කියපි "අතන ඉන්න IP ට එන්ඩ කියපිය" කියලා.

අපි කෙල්ලො ටික එකළ මෙකල  වෙනකොට මං පොල්කිච්චි  දිහා බලලා අණ කරපි "තෝ පල" කියලා.

ඇයි හත් ඉලව්වෙ අච්චරක් කෙලිච්චියො මැද්දෙ මුන්ට මාවම පෙනුණ එකනෙ කාරිය. අපේ එකීල නං කිව්වෙ     "බොගේ මනමාල පෙනුමට තමයි බෝවම පේන්නෙ " කියලා. ඇයි දෙයියනේ බෝ පැලේ වගේ ඉන්න අහිංසක මට කියපු කතාව බලන්ටකෝ.

ඔන්න  ඉතිං  මමත්  මරන්ට යන්නැහේ අරුං මැද්දට ගිහිං අහපි "කවුද IP කියන්නේ " කියලා.

ඒ වෙලාවේ එතන උන්නු එවුන් හරියට මං දිහා බැලුවෙ ග්‍රහලෝකෙන් ආපු එකියක් දිහා බලන්නැහේ.

මමත් ඇරියෙ නැහැ . ආයෙත් කිවුවා "අර උත්තමයො IP ට එන්ට කිව්වා" කියලා.
කොහොමිං කොහොම හරි අර පොලිස් පෙනුම තියෙන ඉලංදාරියා ලැජ්ජාවෙන් ඇඹරී  ඇඹරී  ආවා කියහංකෝ මාත් එක්ක.

ඔන්න ළගට ආවට පස්සෙ ජ්‍යෙෂ්ඨ  උන්නැහෙලා  ටික නිවේදනයක් නිකුත් කරපි "මූට මීට පස්සේ IP කියහල්ලා" කියලා.

අපිත් වදය කාලෙන් පස්සෙත් දිගටෝම උන්නැහෙට කතා කොලේ IP කියලමයි.

මුලින් මුලින් ලොකු අකමැත්තක්  පෙන්නුවට පස්සේ පස්සේ මේකටත්  ගාණක් නැති උනාද කොහෙද.

වැඩෙි කියන්නේ මුංදත් වැටුණේ මගේ පංතියටමයි බොලං. ඒ විතරක් යැයි ගුරු පුහුණු වලට පිට ඉස්කෝල වලට ගිය අපේ කණ්ඩායමෙත් මුංදැ හිටියා.

අපි ඉතිං පාරෙ තොටෙිදී වගේම  ඉස්කෝලෙදිත් මුන්දැට කිව්වේ IP කියලා.

හැබැයි අපි කෙල්ලෝ එහෙම කතා කොරනකොට අනිත් කොල්ලෝ අපි දිහා නක්කලේට වගේ බැලුවා.

උං එහෙම බැලුවට අපේ මොකෝ. අපි ඌට දිගටම IP කිව්වා.

අපි කෙල්ලෝ හිතුවා මුන්දැගේ තියෙන පොලිස් පෙනුමට IP කියන නිල නාමය දීලා කියලා .

කොහොමින් කොහොම හරි නේවාසික අවුරුදු 2 ඉවර වෙලා අන්තිම දවසේ සමුගැනීමේ සාජ්ජෙකුත් තිබුණා බොලං.

ඔන්න ඔය සාජ්ජෙ මැද්දෙ අපි කෙල්ලො මැද්දට ආපු කටහැකර ඉලංදාරියෙක් "උඹලා දන්නවද
අරූට IP කියන්නෙ මොකද කියලා" අපෙං අහපි.


අපි ඉතිං දන්න විදියට කිව්වා "පොලිස් පෙනුම නිසානේ" කියලා.

මේකා බඩ අල්ලගෙන හූ කිය කිය හිනාවෙන්න ගත්ත කියහංකෝ.

ටිකකින් හිනාව නවත්තලා මෙන්න මේකා IP ගෙ කතාව කියපි.

ඔන්න අහගන්ටලකෝ මුන්දැගේ භාෂාවෙන්ම කතාව.

"රැග් එක කාලේ උඹලට වගේ නෙවෙයි බං පිරිමි හොස්ටල් එකේ එක එක විදියෙ රැග් තිබුණා .

ඔන්න එක රැග් එකක් තමයි අපි ඔක්කෝම හෙළුවෙන් පේළියට හිටවලා අපේ අරකේ දිග මනින එක.

එකෙක් මැන මැන අඟල් ගාන කියනවා. තව එකෙක් ඒක ලියා ගන්නවා.

කොහොමිං කොහොමහරි මැන්න එකා IP යා ළඟට ආවම පුදුම වෙලා බලන්ට ගත්ත‍.

අපිත් ඉතිං හොරැහිං බැලුවා බං. කුතුහලේනේ.

අම්මො උගේ එකේ දිග.

ඔන්න තප්පරේට උත්තමයෝ ටික වටකොර ගත්තෙ නැතැයි අරූව.

කට්ටියක් කැරකි කැරකි බලනවා. සමහරු ඈතට ගිහිං බලනවා. අනිත් උං දිග මනිනවා. වැඩ කෝටියයි.

අන්තිමට එක උත්තමයෙක් කිව්වා " යකෝ මූට තියෙන්නේ ඉන්ටර්නැෂනල් xxxක් නේ. ඒ නිසා මූට අපි IP කියමු " කියලා.
ඔන්න අරූට IP නම වැටුන හැටි."

කොහොම හරි මේ කතාව කියලා ඉවර වෙනකොට අර හිටපු කෙල්ලෝ ටික කොහෙන් ගියාද කියලා හොයාගන්ටත් නැහැ.

ඔන්න මං පොල්කිච්චිත් වාෂ්ප උණේ ලැජ්ජාවටම තමයි.

ඇයි බොලල්ලා ටිකක් හිතහල්ලකෝ  හැම වෙලාවෙම කෙල්ලෝ ටිකක් IP.....IP  කියද්දි අරූට මොනවා හිතෙන්ට ඇද්ද කියලා .

අපිත් එක්ක හිටපු කඩප්පුලි එකියක් නම් කිව්වෙ  "කෙල්ලෝ ඕක කියද්දි ඌට ආඩම්බර හිතෙන්ට ඇති" කියලයි.

එහෙමයි කියලා අපි ඉතිං උගෙන් අහන්ටයැයි මොකද හිතුණේ කියලා නේද අප්පා....





Saturday 21 May 2016

බින්න බැස්සනම් මක් වෙනවද අප්පා.......



පොල්කිච්චි නැගල යන කතා දෙකක්ම ලිව්ව හිංදා පොල්කිච්චත් නැගල, බැහැල යනකතාවක් කියන්ට හිතුවා. 

මේ මං ඉලංදාරි සන්දියෙ වෙච්චි අකරතැබ්බක්. ඒ දවස් වල ඉතිං මං පොර ජැංඩිපහේ ඉළංදාරියා නොවැ.
 

විස්ස විජ්ජාලෙන් එළියට ගෙහුං මුල්ම රස්සාව කොළේ ගෙලිඔය පැත්තෙ කොම්පැනියක.
 

හරියටම කියනව නං වයසට ගියත් තරුණ පෙනුම එහෙමම තියෙන, සිංහල සිනමාවේ සීනිබෝල පෙම්වතාගෙ ප්‍රතිරූපෙ කඩාබිඳ දමපු කලංගෙ ගෙදර ගාව.
 

මං නැවතුණේ ඊට ටිකක් පේරාදෙනිය පැත්තට වෙන්ට මහපාර අයිනෙම තිබුණ ගෙදරක.
 

මේ ගෙදර උන්නෙ වයසක අම්මයි, එයාගෙ ලොකුමහත් වුණ පුතයි, ලේලියි, ඉස්කෝලෙ යන වයසෙ දුවයි.
සේන අයියයි, එයාගෙ නෝනා මහත්තයයි දෙන්නම ගුරුවරු. කුකුළත් අරගෙන ගෙදරින් ගියාම ආපහු එන්නේ ඉතිං ඉර හැරෙන ජාමෙ තමයි.
 

ගෙදර ළමිස්සි ඒ වෙනකොට ඕ ලෙවල්. ඒත් අම්මට හැටත් පැනල. මං හිතාගත්ත ගොඩක් පහුවෙලා ලැබුණ දරුවෙක් වෙන්ට ඇති කියල.
 

මං නැගිටිද්දි සේන අයියලා පිටත්වෙලා. ගෙදර ගෑනු දරුවා හත වෙද්දි ඉස්කෝලෙ බස් එකට නගින්ට ඕනෙ.
ඒ හංද අටට ගෙදරින් යන්න ඕනෙ මටත් හයාමාර වෙද්දි නැගිටින්ට සිද්ධ වුණා කියහංකෝ. සිද්ධ වුණා කියන්නෙ මාව අවදි කොළා. වෙන කවුරුවත් නොවෙයි, කාමරේටම තේ එක අරං ආපු ගෑනු ළමයා.
 

ඒ සංගෑදියි වුණේ මෙන්න මෙහෙමයි.
 

මට නවතින්ටදීල දවස් කීපයක් යන්ට කලින්ම ගෑනු දරුවගේ අම්ම, මම කිව්ව විදිහට ඇන්‍ටි මගෙ ජාතකේ ඉඳං අහගත්‍ත.
 

ඒ වෙනකොට විභාගෙ ෆේල් වෙලා උනුනු මම ඒ වගක් කියන්ට ගියේ නැහැ. රස්සාවකුත් කොරන නිසා දැන් ඉතිරි වෙලා තියෙන්නෙ පරස්තාවක් කොරගන්න එක විතරයි කියල ඇන්ටි හිතනව කියල මට තේරුණේ උන්දැගෙ කතාවෙන්ම තමයි.
 

ඔන්න බොලේ මට විශේෂ සැළකිලි ලැබෙන්ට පටන්ගත්ත. කොලු කාලෙනේ. මාත් ඉතිං නොතේරෙනවා වගේ සියලු සැළකිලි බුක්ති වින්දා කියහංකො.
 

උදේ ගෑනු ළමයා අතේ කාමරේටම තේ එක. සුළුපටු වාසනාවක්ද අප්පා. දවල් කෑමට ගෙදර ඇවිත් හොඳට බෙදාගෙන කන්ට කියගත් කිව්වා නොවැ. බෝඩිංකාරයෙකුට නොලැබෙන තරමේ හොඳ කෑම වේලක් ඔන්න ලැබෙන්ට ගත්‍ත.
 

ඒ මදිවට නෑගං යද්දි තනි නොතනියටත් එක්ක මාව එක්කන් යන්ට පටාංගත්ත.  ඔන්න එතකොටයි මගෙ ගොං මොළේට තේරෙන්ට ගත්තෙ එන පොට හොඳ නැතෝ කියල.
 

ඒ මදිවට යන නෑ ගෙවල්වල කට්ටිය මට සැළකුවෙ පවුලේම කෙනෙකුට වගේ. නෑකම් කියල කතා කොරන්නත් ගත්තයි කිව්වම. සේරටම හපන් සේනයියයි, අක්කයි මට වෙනද නැති ගෞරවයකින් කතා කොරන්ටත් ගත්තෙ නැතැයි.
 

දැං ඉතිං පවුලේම කෙනෙක් වගේ තමයි. බින්න බස්සගන්න වැඩපිළිවෙළක් කිරියාත්මක වෙන බව මට නොතේරුණාම නොවෙයි. ඒත් කොලු කොමට මට හිතුණෙ එව්ව කොහෙද මාත්තෙක්ක කියලයි.
ඔන්න ඔහොම දවස් ගත වුණා කියමුකෝ....
 

ගෑනු දරුවා උදේ කාමරේට තේ එක ගෙනැවිත් දොර ළඟ ඉඳං "අයියේ...." කියල අවදි කොරන එක වෙනුවට ඇඳේ කොනක ඉඳගෙන හොල්ලල අවදිකොරන්ට පටාංගත්තා. තේ එක බීල ඉවර වෙනකල් එක එක විකාර කිය කිය ඉඳල එයාම කෝප්පෙ හෝදන්ට අරං ගියා.
 

ඉස්කෝලේ යන්ට එළියට බැහැල බස් හෝල්‍ට් එකට නොගොහිං මොකක් හරි කාරණයක් හදාගෙන මට එළියට කතා කොරල පාරෙ යන හැමෝටම අත වනන්න පටාංගත්‍ත.
රෑට ටී.වී. බලන්ට ඉඳගත්තම මං වාඩිවෙන ඇඳි පුටුවට බර දීල කෙල්ල පිටිපස්සෙන් ඉඳගන්න පටාංගත්තා කියහංකො.
 

සේනයිය රවන්ට ගත්‍තොත් බලන්ටකෝ අම්මේ.. කියල තොඳොල්වෙන්ට වුණා. ඇන්‍ටිත් 'මොකද සේන කෙල්ලට රවන්නෙ' කියල අහල පුතාට නොනිළ තරවටුවක් කොළා.
 

ඇන්ටි නිවාඩු දාට මාවත් එක්කාසු කොරාන බැරි බැරිගාතෙ ගල් පඩි නැගගෙන වත්‍ත පහළට ගෙහුං හතර මායිං පෙන්නන්ට ගත්ත. හරියට මඟුල් තුලා කතාකොරල දෑවැද්ද තීන්දු කොරනව වගේ.
 

මේ අතර දවසක් කෙල්ල ඇඟ හිරිවැටෙන කතාවක් කියපි.
 

"දැං මට කෙල්ලො විහිලු කරනව අනේ..."
 

"ඒ මොනාටද.."
 

"බස් එකට නගින කල් දෙන්න කතා කර කර ඉන්නෙ ගෑනියි, මිනිහයි වගේ කියල".
අම්මෝ මට හීන් දාඩිය දාන්ට ගත්තා ඕං.
 

" ඇයි ඒගොල්ල එහෙම කියන්නෙ.."
 

"ඇයි අනේ...කෙල්ලො හිතාන ඉන්නෙ අපි යාළුයි කියලනේ." එහෙම කිව්ව එයා හෙමීට මෙහෙම මිමිනුව.
 

"අම්ම හිතාගෙන ඉන්නෙත් එහෙම තමයි." මට කලාන්තෙ නොදැම්ම ටික විතරයි.
 

"අම්ම අපේ නෑයන්ටත් කියල. අහල පහල අයත් දන්නව"
 

කෙල්ල කියපි එයා හදාගත්‍ත ළමයෙක්. සේනයිය විතරයි පුතා. ඒත් අම්ම එයාට ගොඩක් ආදරෙයි. අම්මට වයස නිසා ඕ ලෙවල් ඉවර වුණ ගමන් මාව එකලාසයක් කොරන්ට ඕනෙ කියල කියනව කියල.
 

ඒව කොහෙද මාත්තෙක්ක කියල හිතුවට ගැලවෙන එක ලේසි වෙන්නෙ නෑ වගේ කියල මට හිතෙන්ට ගත්තා.
 

කරකියාගන්ට දෙයක් නැතිව ඉන්දැද්දි මහවැලියෙ වැඩ කොරපු යාළුවෙක් වැඩපොළට ආව, නුවර යන ගමන්.
 

මම විස්තරේ කිව්ව.
 

"උඹ දැන් ඔය බෝඩිමෙන් යන්ට ඕනෙ" කියල ඌ කිව්ව විතරක් නොවෙයි මම දවල් කෑමට යද්දි මූත් මාත් එක්කම වාහනේ ගෙදර යන්ට ආවා.
 

යාළුවෙකුත් ඇවිත් තියෙන්නේ කිව්ව ඇන්ටි ඉන්න දෙන්නටම කෑම අරින්නං කියල කුස්සියට ගියා.
 

"දැං කොහොමද බං මෙතනින් යන්නෙ" මං එකල මෙකල වුණා.
 

"උඹ කට වහං ඇඳුම් කැඩුම්, සබ්බසකලමනාවම බෑග්ගෙකට දාගනිං. අර චිංචි මානවිකාව එන්ට කලිං මාරු වෙන්ට ඕනෙ. ඇන්ටිට මං ගුලිය අඹරන්නං."
 

මම විභාගෙ පාස් වෙලා නෑ, මොකක්ද මේ කොරන පිස්සුව කියල මේක කෑම කද්දි මට බනින්ට පටන් ගත්ත.
 

"විභාගෙ ලබන සුමානෙ. මං ආවෙ පාඩං කොරල විභාගෙට ලියන්න එක්ක යන්ට. උපාධිය නැතිව ජීවිතේම අඳුරෙනෙ ඇන්ටි. විභාගෙ ඉවර වුණ ගමන් ආයෙම ගෙනැත් ඇරලන්නම්".
එහෙම කියල කෙල්ලගේ අම්මට මොනාවත් හිතාගන්ට ඉඩ නොදී මගෙ බෑග් එක අතට ගත්තු යාළුව වාහනේට නැග්ග.
 

මම ඇන්ටිට දණ ගහල වැන්ද.
 

"පුතේ...කෙල්ල ඉස්කෝලෙ ඇරිල එනකල්වත් ඉන්නෙ නැද්ද?"
 

"වෙලා නෑ ඇන්ටි. මං හදිසි ගමනක් යන ගමන්. අපි ඇවිත් යන්ට එන්නංකෝ" මට කලිං යාළුව උත්තර දුන්න.
 

"පව් බං...." මම කිව්ව.
 

"කාටද...අම්මටද...දුවටද..."
 

"දෙන්නටම...."
 

"මේ වැඩේ නොකරන්න උඹටයි පව්. ගොං හරක" යාළුව කිව්ව.
 

"මං හොඳ වෙලාවට ආවෙ. නැත්නං කෙල්ල බඩවෙලා උඹ කරගහලයි නවතින්නෙ." ඒක නං ඇත්‍ත කියල හිතෙන්ට ගත්තෙ පස්සෙ කාලෙක.
 

ඔන්න ඔහේ එහෙටම බින්න බැස්සනම් මක් වෙනවද අප්පා කියලා නොහිතෙනවත් නොවේ ඉතිං.




Wednesday 11 May 2016

තාත්ත නොවුණ නං ඔබන්නෙ වෙලේ...



මේ කියන්ට යන්නෙත් අර අපේ චන්ඩි සීයා ගැන කතාවක්ම තමයි ඕං.

මට මතක හැටියට මේ සංගෑදිය වුණේ මං පැංචි සංදියේ. අර ජම්බු ගහෙන් වැටෙන්ට ඔන්න මෙන්න කාලේ. හරියටම කියනවා නම් අර පුෂ්පකුමාර රට කොරපු කාලේ.

මේ කාලේ වෙනකොට අපේ මාමණ්ඩි ඒ කියන්නේ අම්මගේ බාලම මලයා හිටියෙ විස්ස විජ්ජාලේ. අර විස්ස විජ්ජාලේ යන එක දැලි පිහියෙන් කිරි කනවා වගේ කාරියක් වෙච්ච සංදියෙයි ඕං.

මතක හැටියට 1988 වරුසයේ තිබුණා නොවැ රටේ මහා උන්නැහේ තෝරා පත්කොර ගන්න ඡන්දයක්.

මේ වෙනකොට විස්ස විජ්ජාල දින නියොමයක් නැතිව වහලා දාලා නොවැ තිබුණේ. ඉතිං අපේ  මාමණ්ඩිත් ගෙදර.

විස්ස විජ්ජාලේ  උදවිය තියා යාන්තං දැලි රැවුල වැවෙන උනුත් කැලෑ වැදිච්ච සංදියෙ උණාට අපේ  මාමණ්ඩි  නම් කිසි බයක් හැකක් නැතිව ගෙදරටම වෙලා උන්නෙ වෙන මක්කවත් හිංදා නොවෙයි, උපංගෙයි අලියෙක් වෙච්චි අපේ සීයගෙ රැස්පොට් එකට පිංසිද්ධ වෙන්ට.

හැබැයි අපරාදේ කියන්ට බැහැ සීයා මහ අලියෙක්  උණාට දූ දරුවෝ ටික ඔක්කොම හිටියෙ අනිත් පැත්තට. තවෙකක් තියා අපේ ආච්චිත් හොරෙන් හොරෙන් ගිහින් අතට ඡන්දෙ දීලා ආවා කියනවා නොවැ.

කොහොමින් කොහොම හරි ඡන්දෙ කිට්ටු වෙද්දි වැඩිම උණුහුමක් තිබුණේ  අපේ ආච්චිලයි දිහා.

මෙතනදි හැමෝගෙම පොදු සතුරා වෙලා උන්නෙ අපේ සීයා. උන්දැගේ ඡන්ද අයිතියට බලපෑම් කිරීමේ මහා කුමන්ත්‍රණය  මේ වෙනකොට දියත් වෙලයි තිබුණේ .

ඔන්න ඉතිං ඡන්දෙ කිට්ටු කොරලා පවුලේ කෘත්යාධිකාරී මණ්ඩලය රැස්වුණා කියහල්ලකෝ ඉතා රහසිගත ලෙස අපේ ගෙදර. මාව තමයි ඔත්තු බැලීමේ යොදවලා තිබුණේ . මං ඒවට ඉතිං රුසියා නොවැ.

ඔන්න  දැන් එක එක්කෙනා එක එක යෝජනා කොරනවා. කෙලින්ම සීයට කතා කොරලා ඡන්දෙ දාන එක තහනම් කොරමු කීවේ අපේ අම්මා. හැබැයි ඉතිං ඒ යෝජනාව ලත් තැනම ලොප් උණා. මොකද සීයට තහනම් නියෝග නිකුත් කොරන්ට සමත් කෙනෙක් අපේ පවුලේ ඒ වෙනකොටත් ඉපදිලා නොවුන්න නිසා.

ඊළඟ  යෝජනාව උනේ ඡන්දෙ දාන්න යාම  කඩාකප්පල් කිරීම. ඒක කොරන විදිය ඔක්කොටම කලින් පැනලා යෝජනා කොළේ දොරකඩ ඔත්තු බලමින් උන්න මං තුමිය. යෝජනාව බයිසිකලේ හුලං ඇරීම. ඒත් ඒකත් නිෂ්ප්‍රභ  වුණේ සීයා පයිං හරි ඔය ගමන යන බව කස්ටිය හොදාකාරවම දන්න නිසයි.

ඔන්න අන්තිමට හැමෝගෙම ඒකමතික තීරණය  වුණේ සාවධානව කරුණු  පැහැදිලි කොරලා දීලා සීයව තමංගේ පැත්තට නම්ම ගන්න එක.

හැබැයි ඉතිං මේ යෝජනාව කොරන්ට ගොහිං උන්දැගෙන් හොඳ  දෙක තුනක් අහගන්ට නම් කවුරුත් කැමති වුණේ  නැහැ.

කොහොමින් කොහොම හරි අන්තිමට මේ මරාලය කඩං වැටුණේ අපේ තාත්තගේ ඉහට. තාත්තා ඉතිං නිවුණු කෙනෙක් නිසත් , ගුරුවරයෙක් උණ බෑනට සීයගේ තිබුණු  පොඩි පහේ සැලකිල්ල නිසත් ජාමේ බේර ගනී කියලා තමයි කට්ටිය හිතුවේ.

කොහොමින් කොහොම හරි කල් යල් බලලා ඔන්න තාත්තා පටන් ගත්තා කතාව. අපේ අම්මව සහේට ගන්ට කලින් ඉදංම මේ දෙන්නා මාමයි බෑනයි නිසා වැඩේ ලේසි උණා.

හැබැයි ඉතිං පටන් ගත්තු ගමංම සීයගේ පරණ පුරාජේරු කතා ටික නං විසි කෝටි එක්වන වතාවටත් අහන්ට වෙනවට මෙන්න කැට.

ඔන්න මුන්දැ පටන් ගත්තෙ නැතැයි  ගම් හතකට මැම්බොර්කොම කොරපු හැටියි , ඒ කාලේ ගං තුලාන ඔලට කොරපු වැඩයි, ඒ මදිවට ඒ කාලේ හිටපු ඇමතිවරු එක්ක ගමං බිමං ගිය හැටියි, උන්දැ මහ ගේ හදලා ගත්තු ඇට්ටෝං උත්සවයට ඇවිත් ඒ කාලේ හිටපු කතානායක මුලිංම මේසේ ඉඳුල් කොරපු හැටියි, එකී මෙකී උන්දැගෙ පරණ  පුරාජේරුව. හැබැයි ඉතිං වැඩේ කියන්නේ ඒ ඔක්කොම ඇත්ත නොවැ.

කොහොමිං කොහොම හරි තාත්තා කතාව දැම්මා කියහංකෝ. රටේ කොල්ලෝ මරණ  හැටි, ගංගාවල මිනී පාවෙන හැටි, රටට වෙන නස්පැත්ති, මාමණ්ඩිගේ අනාගතේ ගැන. අපරාදේ කියන්ට බැහැ මේ ඔක්කොම උන්දැ හ්ම් නොකියා අහං උන්නා.

අන්තිමට කියපි හොඳයි ඔච්චර කියන එකේ හිතලා බලංඤංකෝ කියලා. කට්ටියගේ ඉතිං ඉහේ මලක් පිපුණා  සමානයි. ඇයි අප්පා එක ඡන්දයක් හරි අලියට අඩු උණා කියන්නෙ එසේ මෙසේ දිනුමක්ද. හා නැද්ද මං කියන්නේ.

හප්පොච්චියේ බලන්ට එපායැ ඒ දවස්වල සීයට තිබුණු  සැලකිලි. කට්ටිය සීයට කේන්ති යන වැඩ කොලේම නැහැ. අපිටත් දැනුම්  දීලයි තිබුණේ  සීයව තරහ ගස්සලා අහුවෙන්ට එපා කියලා.

ඒ දවස්වල හැම අල්ල පනල්ලෙම ගෙදර කතා උණේම තියෙන ආණ්ඩුව  කොරන වැරදි වැඩ ගැනමයි. මාමණ්ඩිත්  උදාහරණ  සහිතව විස්ස විජ්ජාලේ මිතුරන්ට වෙච්ච නස්පැත්ති ඉදිරිපත් කොලා. සීයත් බොහෝම සාවධානව  කන් දෙනවා. හරිම පුදුමයි.

කොහොම හරි ඔන්න ඡන්දෙ දවසේ උදෙන්ම මාමණ්ඩි  හරි ආදරෙන් සීයව බයිසිකලේ තියාගෙන ඡන්ද පොළට ගියපි. ගෙදරින් එලියට බහිද්දිම කට්ටිය සීයට මතක් කොළා ඡන්දෙ දෙන විදිය.

කොහොම හරි මාමණ්ඩි  මග දිගටම කියව කියව ගියේ අලියට ඡන්දෙ දීමේ ආදීනවලු නොවැ. සීයත් හූමිටි දිදී ගියා කියන්නෙ.

ඔන්න ඡන්දපොළට ඇතුල් වෙද්දිත් මාමණ්ඩි  සීයට මතක් කොරනවා. පෝලිමේ යද්දිත් මතක් කොරනවා. සීයත් වගේ වගක් නැතුව ඔලුව හොල්ල හොල්ල ගිහින් ඡන්දෙ දැම්මා කියහංකෝ.

ඔන්න ආපහු එන ගමන්
මාමණ්ඩිට ඇහුවලු තාත්තේ අපි කියපු විදියට කොළා නේද කියලා. සීයත් ඔලුව වැනුවලු.

ඒත් මාමණ්ඩිට ෂුවර් නැතිලු . මාමණ්ඩි  ආයෙත් අහනවලු තාත්තේ මං කියපු එකට දුන්නා නේද කියලා. සීයා සද්ද නැතිලු.

ඔන්න ගෙවල් කිට්ටුව වෙල්යාය මැදිං දෙන්නා එනවලු. මාමණ්ඩි  ආයෙත් ඇහුවලු  තාත්තේ මොකේටද ඡන්දෙ දුන්නෙ කියලා.

සීයට මළ පැනපු පාර කිව්වලු වෙන මොකට දෙන්ටද බං වෙනදා පුරුදු විදියට අලියට ඉස්සරහින් කතිරෙ ගැහුවා කියලා.

අපේ මාමණ්ඩිට මොනවා හිතෙන්ට ඇති කියලද හිතෙන්නේ අප්පා.

තාත්තා නොවුණා නං බයිසිකලෙන් ඇදලා දාලා වෙලේ ඔබලයි එන්නෙ කියලා මාමණ්ඩි  කිවුවෙ ගෙදර දොරකඩදිද නැත්තං ගේට්ටුව ළඟදිද කියලා මට තවම හරියට නිච්චි නැහැ අප්පා.






Thursday 5 May 2016

කොල්ලො කියපි “ පිනිජම්බු මල“


ගැහැනු  ළමයෙකු වුණත් පිරිමි වැඩ කොරපු මට ගෙදර කට්ටිය කිව්වෙ " මේකී කෙල්ලෙක් උණාට වඩා හොඳයි කොල්ලෙක් උණානං" කියලයි. ඇයි කොරන තරමක් කොලේ ඉතිං කොලු වැඩමනේ.
 

අක්කර  ගාණක  සුන්දර වටපිටාවක් තිබුණු  පොල්වත්තක නිදහසේ සැරිසරන්න පුරුදු වෙලා උන්නු නිසාමයි ඉස්කොලේ අහවර වෙලා ආපු ඇසිල්ලෙන් කෑවයින් නොකෑවයින් අපේ ගේ ළඟම තියෙන ආච්චිලයි ගෙදර  දුවන්නේ. වෙන මක්කටවත් නෙවෙයි ඉතිං.... මගේ වැඩ වලටම ගැලපෙන අක්කලා, මල්ලිලා එක්ක මොකක් හරි  නොසංඩාල වැඩක් කොරන්ටම තමයි.

අපේ ආච්චිලයි  ගේ ඉස්සරහ තිබුණා වාරෙට වැලි වගේ ගෙඩි හැදෙන දාර පිණිජම්බු ගහක්. ගහේ මුල ඉඳං  අඩි 10ක් විතර යනකල් කිසිම අත්තක් නැති  තනි කඳ උණාට ඕකට නඟින එක මේ මට මොන කජ්ජක්ද.

හැබැයි ඉතිං මේ ගහ සීයා අපිට තහනම් කොරලයි තිබුණේ. අපේ සීයා බොහොම සැර පරුෂ කෙනෙක් නිසා අපි උන්දෑ ඉන්න වෙලාවට වැඩිය ගහ උඩ බැලුවෙ නැහැ. හැබැයි ඉතිං උන්දැ නැති අල්ල පනල්ලෙ මම මේ ගහට නැඟගන්නවා කියහංකො. ගමේ කොල්ලො අන්තිමට මට නමක් දැම්මෙ නැතැයි "පිණිජම්බු මල" කියලා.

කොහොමින් කොහොම හරි කමක් නැහැ මේ කියන සිද්ධිය  වෙනකොට මටත් අවුරුදු  14 ක් විතර ඇති. ගමේ  භාෂාවෙන්  කියනව නම් ජම්බු ගහෙන් වැටුණ  අලුතමයි .ඒ කිව්ව ගහ පිණි ජම්බු ගහ නොවෙයි හොඳේ.

ඉතිං යමුකො කතාවට.

සීයා එහෙට මෙහෙට වෙනකල් හොරගල් අහුල අහුල උන්න අපිට ඔන්න ඉබ්බා දියට දැම්මා වගේ  තමයි  සීයා කොහෙද ගමනක්  ගිය එක.

අර මටත් වඩා වැඩිමල් උං ඔක්කොම ඉද්දි මං නැගපි ජම්බු ගහට. ඔන්න ඉතිං මං ජම්බු කඩනවා. බිම ඉන්න  උං අහුලනවා. බිම ඉන්න කට්ටිය එක එක නියෝග දෙනවා. අන්න අර අත්තෙ ලොකු ගෙඩි තියෙනවා. ඔය උඩ අත්තෙ ගෙඩි හොඳට ඉදිලා කිය කියා.

ටික වේලාවක් යද්දි ඕං කට්ටියගේ සද්දෙ නැති උණා. මමත් හොඳ ඉදුණු  ජම්බු ගෙඩියක්  කඩන් උඩ ඉදංම කන්න ගත්තා. මොකද බිමට බහිද්දි ඉතුරු වෙන්නෙ බිම ඉන්න උන්ට කන්න බැරි අමු ගෙඩි ටික විතරයි කියලා අත්දැකීමෙන්ම මං දන්න හංදා.

කෙහොමින් කොහොම හරි ඔය  අල්ල පනල්ලේ  සීයා ගිය පයිංම ඇවිත් කියහංකෝ. ඈතිං එන සීයව  දැකපු ගමං උඩ ඉන්න මටවත් නොකියා අපේ උං ටික එහෙ මෙහෙ ගිහිං හැංගිලා. ඕනම නෂ්කූනිවැඩක් කොරන්ට කලින් වෙනද වගේම ආච්චිටත් කියලා  තිබුණු නිසා සීයා දැකපු ගමන් උන්දැටත් තරු පේන්ට ඇති.

මිදුලට එනකොටම පේන ජම්බුගහේ "මෙන්න බොලේ ජම්බු වැටිලා හැම තැනම" කිය කිය සීයා ජම්බු ඇහිඳිනවලු.

මම දන්නවයැ ඔය අටමගලයක්. මමත් උඩ ඉඳං  බිම ඉන්න උන්ගෙන් ඇහුවා " දැං ජම්බු ඇති නේදෝ.... සීයා එන්න කළිං බහින්නම් නේදෝ.." කියලා.

උඩ බලන්නත් කලින් සීයා දන්නවා ගහේ ඉන්නෙ කවුද කියලා. මොකද ඔය වගේ නසරානි වැඩ කොරන්නෙ වෙන කවුද මම මිසක්. මං ඕවට කප් ගහලනෙ උන්නෙ.

ළඟ තිබුණු  පොල්පිත්තක් ගත්තු සීයා ගහ මුලට වෙලා ඉන්නවා මම බහිනකල්. පොල් පිති පාර දෙන්න. මම වගේ වගක් නැතුව ගහ උඩ.

ඔහොම විනාඩි 10 ක් විතර හිටියා කියහංකො. බැරිම තැන සීයා කෑ ගහනවා බැහැපන් බිමට කියලා. මම කියනවා බැස්සොත් ගහන නිසා මට බැරියෝ කියලා. සීයා බහින්න කියනවා. මම බෑ කියනවා .ආච්චි කනිපින්දම් ගහනවා. එකම ගාලගෝට්ටියයි.

සීයට ඔන්න ඉතිං මළ පැන්නා. ගෙදර තිබුණු  ඉනිමඟ ගහට තියපු මුංදැ මෙන්න අර පොල්පිති කෑල්ලකුත් ඉණේ ගහගෙන ගහට නඟිනවා. සීයා උඩට එනකොට මම ගහ මුදුණට නගිනවා. ආච්චි කෑ ගහනවා අනේ ඔය කෙල්ලව වැටෙයි කියලා. අපේ සීයා ඉතිං ආච්චි කියන ඒවා අහන ගොයියෙක්ද. උන්දැ නගිනවා. මමත් නගිනවා.

හැබැයි ඉතිං උන්දැ කොහෙද මාත් එක්ක ගස් නගින්නෙ. මං ගිරිතල්ලටම නැග්ගා කියහංකො. සීයලගෙ වයසට කොහෙද එහෙම හපං කමක්. උන්දෑටත් එතකොට 65 ත් පැනලා මගෙ හිතේ. කෙහොමින් කොහොම හරි මඟක් නැගල උන්දැ නැවතුණා. මම ගහ මුදුනේ. සීයා ගහේ මැද.

ඔන්න ඉතිං අර හැංගුණු  උං ටිකයි, ආච්චියි ගහ මුල. උං දන්නවා මාව අල්ලනවා බොරු කියලා. සීයත් ඇරියෙ නැහැ .පැය බාගයක් විතරම ඔහොම ගහේ දෙන්නම උන්නා. සීයා හොඳට  ඉඳගන්න අත්තක් හොයාගෙන ටිකක් පල්ලම් බහින අතරතුරේ මමත් හොඳ පොටක් පාද  ගත්තා.

ජම්බුගහ ලඟ තිබුණෙ පත කොස් ගහක්. ඒකේ ලොකු අත්තක් තියෙනවා ජම්බු ගහට පාත් වෙලා. කෙහොමින් කොහොම හරි අත්ත දිගේ කොස් ගහට ගොඩවුණ මම  කොස් ගහ දිගේ බිමට බැහැගත්තා. සීයා හොඳ අත්තක හරි බැරි ගැහිලා ඉඳගෙන ඉන්නවා මට බැටේ දෙන්න.

මමත් ඉතිං ඇරියෙ නැහැ. අර ඉනිමග අරන් පැත්තකින් තියලා බිම ඉඳං සීයට නක්කලේට කෑ ගැහුවා. හූ... හූ.... මම බිම... සීයා උඩ... කියලා. තරහයි ලැජ්ජාවටයි දෙකටමද මංදා සීයත් දනිපනි ගාලා බිමට බහින්න හදද්දි ඉණිමඟ නැහැ කියහංකො. උන්දැට මළ පැන්න පාර පැන්නා නොවැ  අර අඩිගාණක් උඩ ඉඳං  බිමට. උන්දැත් කොරන්ට පුළුවන් දේවල්  එපැයි කොරන්ට. තිරිහන් කාලේ කොරපුවා 65 න් කොරන්ට පුළුවන්ද .

කොහොමින් හරි පස්ස බිම ඇනිලා ගහෙන් වැටුණු සීයගෙ කකුලක් ඇමැට්ටි වෙලා මාස ගාණක් තෙල් බැන්දා.

අන්තිමට සීයගේ පොල් පිති පාරට එහා ගිය සම්බුවක් නම් මට ලැබුණා අම්මගෙන්. අම්මෝ ඒ පාරවල් නම් තවම රිදෙනවා රිදෙනවා වගේ. හනසු, මටුළු, බූවළු, කෝටූ එකී මෙකී නොකී දේවල් වලින් එසේ මෙසේ ප්‍රහාරයක් නෙවෙයි එල්ල උණේ.

හැබැයි ඉතිං ඔය මොන ප්‍රහාර ආවත් අපි සැලුණෙ නැහැ. ඊළඟ ජම්බු වාරෙත් මං ගහේ.