Wednesday 11 May 2016

තාත්ත නොවුණ නං ඔබන්නෙ වෙලේ...



මේ කියන්ට යන්නෙත් අර අපේ චන්ඩි සීයා ගැන කතාවක්ම තමයි ඕං.

මට මතක හැටියට මේ සංගෑදිය වුණේ මං පැංචි සංදියේ. අර ජම්බු ගහෙන් වැටෙන්ට ඔන්න මෙන්න කාලේ. හරියටම කියනවා නම් අර පුෂ්පකුමාර රට කොරපු කාලේ.

මේ කාලේ වෙනකොට අපේ මාමණ්ඩි ඒ කියන්නේ අම්මගේ බාලම මලයා හිටියෙ විස්ස විජ්ජාලේ. අර විස්ස විජ්ජාලේ යන එක දැලි පිහියෙන් කිරි කනවා වගේ කාරියක් වෙච්ච සංදියෙයි ඕං.

මතක හැටියට 1988 වරුසයේ තිබුණා නොවැ රටේ මහා උන්නැහේ තෝරා පත්කොර ගන්න ඡන්දයක්.

මේ වෙනකොට විස්ස විජ්ජාල දින නියොමයක් නැතිව වහලා දාලා නොවැ තිබුණේ. ඉතිං අපේ  මාමණ්ඩිත් ගෙදර.

විස්ස විජ්ජාලේ  උදවිය තියා යාන්තං දැලි රැවුල වැවෙන උනුත් කැලෑ වැදිච්ච සංදියෙ උණාට අපේ  මාමණ්ඩි  නම් කිසි බයක් හැකක් නැතිව ගෙදරටම වෙලා උන්නෙ වෙන මක්කවත් හිංදා නොවෙයි, උපංගෙයි අලියෙක් වෙච්චි අපේ සීයගෙ රැස්පොට් එකට පිංසිද්ධ වෙන්ට.

හැබැයි අපරාදේ කියන්ට බැහැ සීයා මහ අලියෙක්  උණාට දූ දරුවෝ ටික ඔක්කොම හිටියෙ අනිත් පැත්තට. තවෙකක් තියා අපේ ආච්චිත් හොරෙන් හොරෙන් ගිහින් අතට ඡන්දෙ දීලා ආවා කියනවා නොවැ.

කොහොමින් කොහොම හරි ඡන්දෙ කිට්ටු වෙද්දි වැඩිම උණුහුමක් තිබුණේ  අපේ ආච්චිලයි දිහා.

මෙතනදි හැමෝගෙම පොදු සතුරා වෙලා උන්නෙ අපේ සීයා. උන්දැගේ ඡන්ද අයිතියට බලපෑම් කිරීමේ මහා කුමන්ත්‍රණය  මේ වෙනකොට දියත් වෙලයි තිබුණේ .

ඔන්න ඉතිං ඡන්දෙ කිට්ටු කොරලා පවුලේ කෘත්යාධිකාරී මණ්ඩලය රැස්වුණා කියහල්ලකෝ ඉතා රහසිගත ලෙස අපේ ගෙදර. මාව තමයි ඔත්තු බැලීමේ යොදවලා තිබුණේ . මං ඒවට ඉතිං රුසියා නොවැ.

ඔන්න  දැන් එක එක්කෙනා එක එක යෝජනා කොරනවා. කෙලින්ම සීයට කතා කොරලා ඡන්දෙ දාන එක තහනම් කොරමු කීවේ අපේ අම්මා. හැබැයි ඉතිං ඒ යෝජනාව ලත් තැනම ලොප් උණා. මොකද සීයට තහනම් නියෝග නිකුත් කොරන්ට සමත් කෙනෙක් අපේ පවුලේ ඒ වෙනකොටත් ඉපදිලා නොවුන්න නිසා.

ඊළඟ  යෝජනාව උනේ ඡන්දෙ දාන්න යාම  කඩාකප්පල් කිරීම. ඒක කොරන විදිය ඔක්කොටම කලින් පැනලා යෝජනා කොළේ දොරකඩ ඔත්තු බලමින් උන්න මං තුමිය. යෝජනාව බයිසිකලේ හුලං ඇරීම. ඒත් ඒකත් නිෂ්ප්‍රභ  වුණේ සීයා පයිං හරි ඔය ගමන යන බව කස්ටිය හොදාකාරවම දන්න නිසයි.

ඔන්න අන්තිමට හැමෝගෙම ඒකමතික තීරණය  වුණේ සාවධානව කරුණු  පැහැදිලි කොරලා දීලා සීයව තමංගේ පැත්තට නම්ම ගන්න එක.

හැබැයි ඉතිං මේ යෝජනාව කොරන්ට ගොහිං උන්දැගෙන් හොඳ  දෙක තුනක් අහගන්ට නම් කවුරුත් කැමති වුණේ  නැහැ.

කොහොමින් කොහොම හරි අන්තිමට මේ මරාලය කඩං වැටුණේ අපේ තාත්තගේ ඉහට. තාත්තා ඉතිං නිවුණු කෙනෙක් නිසත් , ගුරුවරයෙක් උණ බෑනට සීයගේ තිබුණු  පොඩි පහේ සැලකිල්ල නිසත් ජාමේ බේර ගනී කියලා තමයි කට්ටිය හිතුවේ.

කොහොමින් කොහොම හරි කල් යල් බලලා ඔන්න තාත්තා පටන් ගත්තා කතාව. අපේ අම්මව සහේට ගන්ට කලින් ඉදංම මේ දෙන්නා මාමයි බෑනයි නිසා වැඩේ ලේසි උණා.

හැබැයි ඉතිං පටන් ගත්තු ගමංම සීයගේ පරණ පුරාජේරු කතා ටික නං විසි කෝටි එක්වන වතාවටත් අහන්ට වෙනවට මෙන්න කැට.

ඔන්න මුන්දැ පටන් ගත්තෙ නැතැයි  ගම් හතකට මැම්බොර්කොම කොරපු හැටියි , ඒ කාලේ ගං තුලාන ඔලට කොරපු වැඩයි, ඒ මදිවට ඒ කාලේ හිටපු ඇමතිවරු එක්ක ගමං බිමං ගිය හැටියි, උන්දැ මහ ගේ හදලා ගත්තු ඇට්ටෝං උත්සවයට ඇවිත් ඒ කාලේ හිටපු කතානායක මුලිංම මේසේ ඉඳුල් කොරපු හැටියි, එකී මෙකී උන්දැගෙ පරණ  පුරාජේරුව. හැබැයි ඉතිං වැඩේ කියන්නේ ඒ ඔක්කොම ඇත්ත නොවැ.

කොහොමිං කොහොම හරි තාත්තා කතාව දැම්මා කියහංකෝ. රටේ කොල්ලෝ මරණ  හැටි, ගංගාවල මිනී පාවෙන හැටි, රටට වෙන නස්පැත්ති, මාමණ්ඩිගේ අනාගතේ ගැන. අපරාදේ කියන්ට බැහැ මේ ඔක්කොම උන්දැ හ්ම් නොකියා අහං උන්නා.

අන්තිමට කියපි හොඳයි ඔච්චර කියන එකේ හිතලා බලංඤංකෝ කියලා. කට්ටියගේ ඉතිං ඉහේ මලක් පිපුණා  සමානයි. ඇයි අප්පා එක ඡන්දයක් හරි අලියට අඩු උණා කියන්නෙ එසේ මෙසේ දිනුමක්ද. හා නැද්ද මං කියන්නේ.

හප්පොච්චියේ බලන්ට එපායැ ඒ දවස්වල සීයට තිබුණු  සැලකිලි. කට්ටිය සීයට කේන්ති යන වැඩ කොලේම නැහැ. අපිටත් දැනුම්  දීලයි තිබුණේ  සීයව තරහ ගස්සලා අහුවෙන්ට එපා කියලා.

ඒ දවස්වල හැම අල්ල පනල්ලෙම ගෙදර කතා උණේම තියෙන ආණ්ඩුව  කොරන වැරදි වැඩ ගැනමයි. මාමණ්ඩිත්  උදාහරණ  සහිතව විස්ස විජ්ජාලේ මිතුරන්ට වෙච්ච නස්පැත්ති ඉදිරිපත් කොලා. සීයත් බොහෝම සාවධානව  කන් දෙනවා. හරිම පුදුමයි.

කොහොම හරි ඔන්න ඡන්දෙ දවසේ උදෙන්ම මාමණ්ඩි  හරි ආදරෙන් සීයව බයිසිකලේ තියාගෙන ඡන්ද පොළට ගියපි. ගෙදරින් එලියට බහිද්දිම කට්ටිය සීයට මතක් කොළා ඡන්දෙ දෙන විදිය.

කොහොම හරි මාමණ්ඩි  මග දිගටම කියව කියව ගියේ අලියට ඡන්දෙ දීමේ ආදීනවලු නොවැ. සීයත් හූමිටි දිදී ගියා කියන්නෙ.

ඔන්න ඡන්දපොළට ඇතුල් වෙද්දිත් මාමණ්ඩි  සීයට මතක් කොරනවා. පෝලිමේ යද්දිත් මතක් කොරනවා. සීයත් වගේ වගක් නැතුව ඔලුව හොල්ල හොල්ල ගිහින් ඡන්දෙ දැම්මා කියහංකෝ.

ඔන්න ආපහු එන ගමන්
මාමණ්ඩිට ඇහුවලු තාත්තේ අපි කියපු විදියට කොළා නේද කියලා. සීයත් ඔලුව වැනුවලු.

ඒත් මාමණ්ඩිට ෂුවර් නැතිලු . මාමණ්ඩි  ආයෙත් අහනවලු තාත්තේ මං කියපු එකට දුන්නා නේද කියලා. සීයා සද්ද නැතිලු.

ඔන්න ගෙවල් කිට්ටුව වෙල්යාය මැදිං දෙන්නා එනවලු. මාමණ්ඩි  ආයෙත් ඇහුවලු  තාත්තේ මොකේටද ඡන්දෙ දුන්නෙ කියලා.

සීයට මළ පැනපු පාර කිව්වලු වෙන මොකට දෙන්ටද බං වෙනදා පුරුදු විදියට අලියට ඉස්සරහින් කතිරෙ ගැහුවා කියලා.

අපේ මාමණ්ඩිට මොනවා හිතෙන්ට ඇති කියලද හිතෙන්නේ අප්පා.

තාත්තා නොවුණා නං බයිසිකලෙන් ඇදලා දාලා වෙලේ ඔබලයි එන්නෙ කියලා මාමණ්ඩි  කිවුවෙ ගෙදර දොරකඩදිද නැත්තං ගේට්ටුව ළඟදිද කියලා මට තවම හරියට නිච්චි නැහැ අප්පා.






29 comments:

  1. එක වචනේ සීයෙක්. ජේ.ආර්.සීයා වෙන්ඩ ඇති සීයට ඡන්දේ දෙන්ඩ උගන්නන්ඩ ඇත්තේ. ප්‍රේමදාස සීයා වෙන්ඩ ඇති තාත්තට හොරෙන් සීයට කියන්ඩ ඇත්තේ අලියාටම දෙන්ඩ කියලා.

    ReplyDelete
    Replies
    1. සීයා ඡන්දෙ දෙන්න පටාංගන්න ඇත්තෙ ඩී.එස්. උන්නැහෙගෙ කාලෙ. ඒත් මේ සංගෑදිය වුණේ නං ජේ.ආර්. සීය තොලොංජි වෙද්දි ප්‍රේමදාස සීය මහ එකා වෙන්න ඡන්දෙට ආව වෙලාවෙ තමයි.

      Delete
  2. යකෝ, අපේ සීයත් ඔය ජාතියේ වැඩක් කොලා නෙව.

    සැටලයිට් තුමී රට කොරෝන කාලේ තිබිච්ච මොකක්දෝ ලොකු ඡන්දෙකදී .
    ඒ කාලේ ඉතින් අපේ බාප්පා කෙනෙක් බොක්කෙන්ම ෆීලික්ස් පෙරේරා ට බැහැල වැඩ.
    ෆිලික්ස් පෙරේරා සීයලෑ අසල්වාසීනුත් වෙච්චි.
    එත් ඉතින් මොකක්දෝ හේතුවක් හින්දා අපේ තාත්තයි සීයයි ඩබල සංසාර පුරුද්දකට වගේ තනි අලි.

    සීයා හිටියේ බාප්පා ගාව.
    උඹලෑ කතාවේ වගේම ඉතින් අපේ බාප්පාත් ඡන්දෙට කලින් සති ගානක මෙහෙයුමක් දියත් කොලා ලු සීයාගේ ඡන්දේ පුටුව ට ( ඒ කාලේ සැටලයිට් ආණ්ඩුවේ ලකුණ පුටුව නේ) ගස්සවන්න.
    ඉතින් සීයාට කරුණු කාරනා තේරුම කරලා දීලා, ෆීලික්ස් පෙරේරා ගේ අසල්වාසී කමත් මතක් කරලා , උන්නැහැ කලාය කියන අර වැඩ මේ වැඩ සේරමත් මතක් කරලා දුන්නලු.
    අපේ සීයාගේ එක ඇහැක් පෙන්නේ නැහැ.අන්ධයි
    ඒ වගේම වයස හින්දා අනිත් ඇහෙත් පෙනීම ටිකක් දුර්වලයි.
    ඇඟත් දුර්වලයි.
    බාප්පා කියන හැමදේම ඉස මුදුනින් පිලි අරන් හිටියා ලු..

    දැන් ඉතින් අපේ බාප්පොච්චා ඡන්දේ දවසේ උදේම සීයට කියා දුන්නලු ඡන්දේ දාන විදිය.

    චන්ද කොලේ අහවල් තැන කීවෙනියටද මන්දා තියෙන පුටුව ලකුණ ඉස්සරහින් කතිරේ ගහල හිටං ඊට පහලින් තියෙන ඉලක්කම් ගොඩෙන් අහවල් අන්කේ උඩින් කතිරේ ගහන්න. එතකොට සේරම හරි

    සීයත් හා හා කියලා ගියාලු.
    ඡන්දෙත් දාලා ආවලු.
    ඇවිත් අපේ බාප්පා අහනකොට කිව්වලු ඔවු ඔවු . අර අහවල් ලකුණට පස්සේ නේ පුටුව තියෙන්නේ. මම ගැහුවා. අර අන්කේ උඩිනුත් ගැහුවා කිව්වලු.

    බාප්පොච්චට පට්ට සන්තොසයිලු හිටං.

    සතියකට විතර පස්සේ අපේ තාත්තා සීයව බලන්න ගිය වෙලේ නිකමට වගේ අහුවාලු "තාත්තේ ඡන්දේ එහෙම දැම්මාද?" කියලා.

    එතකොට සීයා කිව්වලු,
    "ඔවු ඔවු දැම්මා. උඹේ මල්ලි මට සැහෙන්න කියා දුන්නා පුටුවට කතිරේ ගහන හැටියි, ෆීලික්ස් කාරයාගේ අන්කේ උඩින් මනාපේ ගහන හැටියි. මම අලියාට ගහලා ආව බන්..."

    තාත්තා ඕක අපිට කියනකොටයි බාප්පොච්ච හැර අනිත් සහෝදර සේනාවට කියනකොටයි හැමෝටම පුකෙනුත් හිනා ලු.
    බාප්පොච්චාට ඌරු ජුවල් ලු...

    කතාව ඔන්න ඔහොමලු...

    ReplyDelete
    Replies
    1. බලං ගියාම සීයල කවුරුත් එක වගේ නොවෙන්නං...ගහන්නෙම අලියට.

      Delete
  3. ලස්සනට ලියනවාට ස්තූතියි. කියවන්න පහසුයි.

    ඔය 88 ජනාධිපතිවරනය කාලේ රට ගිනි ගොඩක්. මට මතකයි. සීයට පනස් ගානක් තමයි ඡන්දේ පාවිච්චි කරලා තිබුනේ. ඒ ඡන්දෙට ඉල්ලපු තුන්දෙනාම අද ජීවතුන් අතර නැහැ. සිරිමාවෝ මියගියා. ප්‍රේමදාස සහ ඔසී ඝාතනය වුනා.

    ReplyDelete
    Replies
    1. ඔසියා විමලටත් වඩා ජරා විදියට මඩ ගහන්නේ...

      Delete
  4. ඔහොම අය ඕනේ තරම් ඉන්නවා..

    ReplyDelete
    Replies
    1. ඇත්තට.. මම හිතුවේ අපේ සීයා විතරයි කයලා.

      Delete
    2. ඇත්තට.. මම හිතුවේ අපේ සීයා විතරයි කයලා.

      Delete
  5. අන්න සීයලා.. මරු කතාව

    අදයි මේ පැත්තේ ගොඩ උනේ. දිගටම ලියන්න. ජය.

    ReplyDelete
    Replies
    1. දිගටම ලියංඤං . දිගටම එනට හොදේ.

      Delete
    2. දිගටම ලියංඤං . දිගටම එනට හොදේ.

      Delete
  6. සීය තමා බුවා.. හෙහ් හෙහ්.. තාම ඉන්නව බං කැපුවත් කොල ජාතියෙ ඩයල්
    අවුල විචාර බුද්ධිය හීන වුන එක විතරයි හෙහ්

    ReplyDelete
    Replies
    1. කැපුවත් කොල වගේම කැපුවත් නිල් අයත් තවම ඉන්නවා...

      Delete
    2. කැපුවත් කොල වගේම කැපුවත් නිල් අයත් තවම ඉන්නවා...

      Delete
  7. අන්න සීයලා...............

    ReplyDelete
  8. Replies
    1. ආවට ස්තූතියි .සාදරයෙන් පිළි ගන්නවා......

      Delete
  9. නියම සීයා කෙනෙක් ඈ!

    ReplyDelete
    Replies
    1. හැමෝටම නැහැ.හැමතැනම නැහැ..

      Delete
    2. හැමෝටම නැහැ.හැමතැනම නැහැ..

      Delete
  10. දිගටම ලියන්න අදහසක් තියෙනව නං ගෙනිහින් රෝලෙ එල්ලන්නං.

    ReplyDelete
    Replies
    1. ලියනවා ලියනවා....එල්ලා ගනන....

      Delete
  11. ape achchiwath mama ekkagena giya 94 putuwata Gahanna achchige as deka penne na. menna achchi kiyapa kiyapi chanda niladariyata mahaththyoo ali patiyata Gahanna kiyala

    ReplyDelete
    Replies
    1. අපේ සීයටම කැපෙන ආච්චියෙක් නොවැ බොලං.

      Delete
  12. සීයලා ඔහොම තමයි. මම ඉලෙක්ෂන් ඩියුටි ඉඳපු දවසක ඔන්න තාත්ත කෙනෙකුයි පුතෙකුයි ආව ඡන්දෙ දාන්න. පුතා කියනව තාත්තගෙ ඡන්දෙ ලකුණු කරල දෙන්න කියල බුලත් කොලේට.(මේ මහින්ද මහත්තය පීක් එකේ හිටිය කාලෙ).අපි කිව්ව එයාට ඕන එකට ලකුණු කරල දෙන්නං, ඔයා පැත්තකට යන්න කියල. ඔන්න මමයි අනිත් jpoයි දෙන්න කූඩුව ඇතුලට ගිහිල්ල ඇහුව සීයේ කාටද ඡන්දෙ ලකුණු කරන්න ඕන? කියල. මෙන්න බොලේ රහසින් කියනව "අලියට දෙන්න" කියල. මොනව කරන්නද ඉතිං, පුතාගෙ කැමැත්තට පයින් ගහල අලියට මාක් කරල දුන්න පෙට්ටියට‍ දාන්න කියල.

    ReplyDelete